May 07, 2024

හිටපු ජනපති ගැන රවී ගාව තියෙන "ඩොලර්" ෆයිල් එක එලියට

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දූෂණ සම්බන්ධයෙන් තමා සතුව ෆයිල් 7 ක් තිබෙන බව රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළා.

ඒ ෆයිල් 7 න් එකක තිබෙන හිටපු ජනපතිවරයා කරන ලද ඩොලර් මගඩියක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

ලැබුණු මුදල් තොගය

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 8 ජනපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එම මැතිවරණය සඳහා එක්තරා බලවත් විදේශ රටකින් ඇමරිකානු ඩොලර් මිලියන 40ක (වත්මන් වටිනාකම රු. මිලියන 8000) මුදලක් ලැබී තිබෙනවා.

එය ලැබී තිබෙන්නේ සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ මාමණ්ඩියට අයත් සමාගමකට.

එම සමාගමේ නම එල්කාඩෝ කර්මාන්ත පුද්ගලික සමාගමයි.

ලැබුණු පැමිණිල්ල

ඒ වන විට පැවතියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වන අතර මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අනුව මැතිවරණ සමයේදීම එම මුදල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසු අධිකාරියේ නියෝග මත මහ බැංකුවට භාරදී තිබෙනවා.

2015 ජනවාරි 8 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මුදල නිදහස් කර ගැනීමට දැඩි උත්සාහයක් ගත් බවයි දැනගන්නට තිබෙන්නේ.

අසාර්ථක වූ උත්සාහය

ඒ සදහා ඔහු ප්‍රථමයෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව මහ බැංකු අධිපති ධූරයට කිරීමට උත්සාහ කළද එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය වළක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපති ධුරයට පත්කළා.

වාර්තාවන තොරතුරු වලට අනුව හිටපු ජනපතිවරයා මහේන්ද්‍රන් මහතා සිය නිවසට කැඳවා එම මුදල නැවතත් එල්කාඩෝ සමාගමේ හිමිකරුට භාර දෙන ලෙස දන්වා තිබෙනවා.

හිටපු අගමැති දුන් උපදෙස

මේ සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතා වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසා ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා මහේන්ද්‍රන් මහතා අමතා උපදෙස් දී තිබෙන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපලක් වන බැවින් ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසටයි.

ඉන්පසුව මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු හිටපු ජනපතිවරයා කුමාරස්වාමි මහතාව මහ බැංකු අධිපති ධූරයට පත් කරනු ලැබුවා.

එසේ පත් කර ගැනීමෙන් පසු එම මුදල් තොගය හිටපු ජනපතිවරයා නිදහස් කර ගත් බවටත් තොරතුරු වාර්තා වනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 28 January 2022 11:15