May 01, 2024

විදුලිය කැපෙන වේලාවන් මෙන්න Featured

පවතින අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැයක කාලයක් සහ හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා කාණ්ඩ 4 ක් යටතේ පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"මේ වන විට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක්  බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා." 

කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ අද (24) පස්වරු 3.00 දක්වා පමණක් බව වාර්තා වෙනවා.

එමෙන්ම සපුගස්කන්ද බලාගාරය ද මේ වන විට මුළුමනින්ම අක්‍රීය තත්ත්වයේ පවතිනවා.

ඒ අනුව මෙම බලාගාර දෙක අක්‍රීය වීම තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 168ක පමණ විදුලි ධාරිතාවක් අහිමිව යනවා. 

එමෙන්ම දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ද පවතින්නේ අවම මට්ටමකයි.

ඒ අනුව සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් කාණ්ඩ 04ක් යටතේ අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේයි.

A කාණ්ඩය  - ප.ව 5.30 - ප.ව 6.30 දක්වා

B කාණ්ඩය - ප.ව 6.30 - ප.ව 7.30 දක්වා

C කාණ්ඩය - ප.ව 7.30 - ප.ව 8.30 දක්වා

D කාණ්ඩය - ප.ව 8.30 - ප.ව 9.30 දක්වා විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 January 2022 14:40