May 02, 2024

පල්ලියේ බෝම්බය පිටුපස නොසිතූ හේතුවක්! මිනී අළු මුදු පැළඳූ දොස්තර සියල්ල වමාරයි! Featured

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ බෝම්බයක් ඇටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට කරුණු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙම බෝම්බය හමුවූයේ පසුගිය 11වැනි දා යි.

එහි දී අත්බෝම්බයක් කාල බෝම්බයක් අයුරින් සකසා දේවස්ථාන ගොඩනැගිල්ලෙහි අටවා තිබුණා.

දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපසට වන්නට ඇති සුරුවම අසලිනු යි මෙම බෝම්බය හමු වූයේ.

දේවස්ථානයේ සේවකයෙකු බෝම්බය දැක ඇති අතර පසුව ඔහු වහාම පියතුමන් දැනුවත් කර ඇති බව පැවසෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය දේවස්ථානයට කැඳවා තිබුණේ ඒ අනුවයි.

සිදු වූ දේ

සැකකරුවන් කිහිපදෙනෙකු බොම්බය හමු වූ පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කිරීම විශේෂත්වයක් වූවා.

එහි දී පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර බෝම්බය දේවස්ථානය තුළ තැබූ ප්‍රධාන සැකකරු ද සිටින බව යි.

ඔහු දිගු කාලයක් දේවස්ථානයේ සේවය කළ අයෙකු බව පොලීසිය පැවසුවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බය ඇටවීමට යොදාගත් ගිනිපෙට්ටි, සෙලෝටේප් ආදිය අදාළ පුද්ගලයාගේ කාමරයේ තිබී සොයාගත් බවට යි.

CCTV අවුල

මේ අතර දේවස්ථානයේ CCTV දර්ශන ද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති නමුත් කතෝලික ආගමික නායකයින් චෝදනා නැගුවේ පොලීසිය නිරීක්ෂණය කර ඇත්තේ බෝම්බය හමුවන මොහොතේ පටිගතව තිබූ CCTV දර්ශන පමණක් බවට යි.

පොලීසිය අවධානය යොමු කොට ඇත්තේ එක් කාල පරාසයක දර්ශනවලට පමණක් වීම හේතුවෙන් පොලීසිය නැරඹූ දර්ශනවලට පෙර පටිගත වූ දර්ශන වෙත ද දේවස්ථාන පරිපාලනය අවධානය යොමු කොට තිබුණා.

එහි දී දේවස්ථානයේ පියතුමන් විසින් නිරීක්ෂණය කොට ඇත්තේ හඳුණා නොගත් පුද්ගලයෙකු සැකකටයුතු බෑගයක් රැගෙන දේවස්ථාන භූමියට ඇතුළු වී අදාළ බෝම්බය හමු වූ ස්ථානයේ යමක් සඟවන බව යි.

ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව පොලීසිය සිදු කරන පරීක්ෂණ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළා.

සැබෑ සැකකරු නිදැල්ලේ සිටිය දී දේවස්ථානයේ සේවය කළ අහිංසකයෙකු රැගෙන ගොස් ඇති බවටත්, සත්‍ය අපරාධකරුවන් සොයා ගැනීම පොලීසිය මහහරිමින් සිටින බවටත් උන්වහන්සේ චෝදනා නැගුවා.

ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් සහ පොලීසිය භාර අමාත්‍යවරයා වැනි පිරිස් කාදිනල් හිමිපාණන්ට එරෙහි ප්‍රකාශ සිදු කිරීම ද දක්නට ලැබුණා.

එවන් වාතාවරණයක “බෝම්බය තැබූ පුද්ගලයා” ලෙස තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය දා නිවේදනය කළා.

සැබෑ බෝම්බකරු

බෝම්බය එම ස්ථානයේ තැබූ පුද්ගලයා බව පවසමින් එලෙස අත්අඩංගුවට ගත්තේ කඩවත ප්‍රදේශයේ අයෙක්.

ඔහුට යම් පුද්ගලයෙකු එම කාර්යය පවරා ඇති අතර බෝම්බය ඇටවීම වෙනුවෙන් ඔහුට රුපියල් 50,000ක මුදලක් ද ගෙවා ඇති බව ද එහි දී අනාවරණය වූවා.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය මගින් සිදු කළ පරීක්ෂණ හරහා යි.

මෙම තැනැත්තා 65 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වූවා.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය ක්‍රියා කළේ සැකකරු වරාය පොලීසිය රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට යි.

එහි දී ඔහු කරුණු රැසක් අනාවරණය කර ඇති බව සඳහන්.

මහමොළකරු

බෝම්බය දේවස්ථානයට රැගෙන ආ බවට අත්අඩංගුවට ගත් එම තැනැත්තා පොලීසියට අනාවරණය කර ඇත්තේ තමන් මීට පෙර විශ්‍රාමික වෛද්‍යවරයෙකුගේ නිවසක සේවය කළ බව යි.

අදාළ වෛද්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, තමා ඔහුගේ නිවසෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

සැකකරු වැඩිදුරටත් හෙළි කොට ඇත්තේ දේවස්ථානය තුළ තැබීම සඳහා තමන් හට බෝම්බය ලබා දුන්නේ අදාළ වෛද්‍යවරයා විසින් බව යි.

ඒ අනුව ක්‍රියාත්මක වූ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය අදාළ වෛද්‍යවරයාගේ නිවස වෙත ගොස් ඇති අතර පිළියන්දල, වටමාවත ප්‍රදේශයේ පිහිටි එම නිවසේ දී වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත් වූවා.

වෛද්‍යවරයා

පසුව පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ 75 හැවිරිදි අදාළ වෛද්‍යවරයා පිළියන්දල ප්‍රාදේශීය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා බව යි.

එමෙන්ම ඔහු සිය නිවසේ ද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබුණා.

වෛද්‍යවරයාගේ නිවස පරීක්ෂා කිරීමට ද පොලීසිය කටයුතු කර ඇති අතර එහි දී කඩු, කිණිසි, වායු රයිෆල සහ තවත් ආයුධ කිහිපයක් හමු වූ බව පොලීසිය පැවසුවා.

පසුව අදාළ වෛද්‍යවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවා.

කවුද මේ?

මේ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුවන ඕෂල හේරත් මහතාගේ පියා බව යි මාධ්‍ය වෙත පසුව අනාවරණය වූයේ.

ඕෂල හේරත් යනු 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකුවන අතර පසුව ඔහු සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළා.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව තුළ එජාප සහ ශ්‍රීලනිප කණ්ඩායම් අතර මත ගැටුම් වර්ධනය වීමත් සමග ඕෂල හේරත් මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිදහස් පක්ෂ පාර්ශවයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත සම්බන්ධ වූවා.

එමෙන්ම ඕෂල හේරත් මහතා පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයෙකු ද වනවා.

පුතුගෙන් මාධ්‍ය හමුවක්

සිය පියා අත්අඩංගුවට පත් වීමත් සමග ඕෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එයට තවත් සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම සහභාගී වී සිටියා.

ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ද ඒ අතර වූවා.

එහි දී හේරත් මහතා ප්‍රකාශ කළේ ආයුධ ලෙස පවසමින් පොලිස් භාරයට ගත් දෑ අතර සිය කුඩා පුතුගේ සෙල්ලම් පිස්තෝල ද ඇති බව යි.

එමෙන්ම තමන් විනෝදාංශයක් ලෙස ලඟ තබාගෙන සිටි ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවට භාවිත කරන වායු රයිෆල් ද, සිහිවටන කඩු ද, නිවසේ තිබූ පිහි ද පොලීසිය සිය භාරයට ගත් බව ඔහු අනාවරණය කළා.

තව ද නිවෙස් හිමියන් සියලුදෙනාගේ ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ ද පොලීසිය රැගෙන ගිය බව යි ඕෂල හේරත් මහතා ප්‍රකාශ කළේ.

ප්‍රශ්ණ කිරීම්වලින් පසු සිය පියා රැගෙන යාමට කටයුතු කළ බව පැවසූ හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මීට මාස හයකට පමණ පෙර කොවිඩ් 19 ආසාදනය වී අභාවප්‍රාප්ත වූ සිය මව සම්බන්ධයෙන් ද පොලීසිය විමසූ බව යි.

ඕෂල හේරත් මහතාගේ මව (සැකකාර වෛද්‍යවරයාගේ බිරිඳ) මරණයට පත් වීම පදනම් කොටගෙන සිය පියා සමාජය කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කර ඇති බවට පොලීසිය තමන්ට පැවසූ බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සියල්ල හෙළි කළ වෛද්‍යවරයා

කොළඹ අපරාධ කොට්ඨාසය වෙතට අදාළ වෛද්‍යවරයා භාර කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එහි දී එම විශ්‍රාමික වෛද්‍යවරයා පිළිගෙන ඇත්තේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ පුපුරා යන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබීම සඳහා සැලසුම් කළේ තමා බව යි.

එමෙන්ම මීට පෙර නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් තුළ මේ ආකාරයෙන්ම අත්බෝම්බයක් ඇටවීමේ සිද්ධියක් වාර්තා වූ අතර එය ද තම සැළසුමක් බවට යි ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.

බෝම්බ ඇටවූයේ ආදරය නිසාලු

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තම බිරිඳ කෙරෙහි තිබූ අසීමිත ආදරය හේතුවෙන් මේවා සිදු කර ඇතැයි අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා ඉඟි පළ කොට ඇති බවට යි.

එමෙන්ම සිය අතෙහි ඇඟිල්ලක තිබූ මුද්දක් පිළිබඳව ද අදාළ වෛද්‍යවරයා අනාවරණයක් සිදු කොට තිබෙනවා.

මාස කිහිපයකට පෙර සිය බිරිඳ මියගිය බවත්, අදාළ මුදුව සකස් කොට ඇත්තේ සිය බිරිඳගේ සිරුර ආදාහනය කොට ලබාගත් “මිනී අළු” යොදාගනිමින් බවත් ඔහු පවසා ඇති බව සඳහන්.

බිරිඳ වෙනුවෙන් ඇතිවූ ද්වේශය

මේ අතර බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය කෙරෙහි ද්වේශයෙන් පසු වූ බවට ද පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු අනාවරණය කර තිබෙනවා.

තමන් කතෝලික වුව ද සිය බිරිඳ ලෙස බෞද්ධ කාන්තාවක් තෝරා ගත් බවයි ඔහු පවසා ඇත්තේ.

1974 වසරේ දී තමන් එලෙස විවාහ වූ බවත්, එම විවාහය සිදු කළේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී බවත් මෙම වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එවකට අදාළ දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේ දී විවාහ මංගල්‍යයට අදාළ පූජාව ලබා නොදුන් බව යි ඔහු ප්‍රකාශ කොට ඇත්තේ.

සිය බිරිඳ බෞද්ධ කාන්තාවක් වීම හේතුවෙන් එම පූජකවරයා එලෙස කටයුතු කළ බව වෛද්‍යවරයා පවසා තිබෙනවා.

මෙය තමන්ට දැඩි සිත් තැවුලක් ගෙන දුන් සිදුවීමක් බවත්, තමන් අදාළ දේවස්ථානය සමග ද්වේශයෙන් කටයුතු කිරීමට එය හේතු වූ බවත් ඔහු අනාවරණය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ සිය සිත්තැවුල පදනම් කරගෙන තම සගයා ලවා දේවස්ථානය තුළ බෝම්බය තැබීමට ක්‍රියා කළ බව යි.

රෝහල් බෝම්බයටත් අමුතු හේතුවක්

මේ අතර නාරාහේන්පිට පිහිටි “ලංකා” රෝහල තුළ බෝම්බය තැබීම සිදු කළේ සිය මෙහෙයවීමෙන් බවට අදාළ වෛද්‍යවරයා පිළිගෙන තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ ද ඔහුගේ බිරිඳ හා සම්බන්ධ සිදුවීමක් වීම විශේෂත්වයක්.

මීට මාස කිහිපයකට පෙර සිය බිරිඳ දැඩි ලෙස රෝගී වූ බවත්, ඇයව කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගිය නමුත් එම රෝහලෙන් ඇය ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් නාරාහේන්පිට ලංකා රෝහල විසින් සිය බිරිඳ භාරගත් බව පවසා ඇති ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ එම රෝහල විසින් සිය බිරිඳට ප්‍රතිකාර කළ නමුත් පසුව ඇය මරණයට පත් වූ බව යි.

නමුත් නාරාහේන්පිට පිහිටි එම රෝහල විසින් සිය බිරිඳට ඉතා හොඳින් ප්‍රතිකාර කළ බවත්, ඒ වෙනුවෙන් අදාළ රෝහලට ප්‍රසිද්ධියක් ලබා දීමට තමන්ට අවැසි වූ බවත් වෛද්‍යවරයා සඳහන් කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

එලෙස අදාළ රෝහල ප්‍රසිද්ධියට පත් කරවීම සඳහා සිය සගයා ලබා එම රෝහල් පරිශ්‍රයේ බෝම්බයක් තැබූ බව යි විශ්‍රාමික වෛද්‍යවරයා අනාවරණය කොට ඇත්තේ.

මෙම කටයුතු සඳහා බෝම්බ තැබූ තැනැත්තාට තමන් විටින් විට මුදල් ලබා දුන් බව ද ඔහු පිළිගෙන තිබෙනවා.

මේ අතර තවත් වාර්තා පෙන්වා දෙන්නේ මෙම වෛද්‍යවරයා විසින් බෙල්ලන්විල විහාරස්ථානයේ ද මේ අයුරින්ම අත්බෝම්බයක් තැබීමට ක්‍රියා කර ඇති බවට යි.

වෛද්‍යවරයාට බෝම්බ කොහෙන්ද?

මේ අතර මෙම විශ්‍රාමික වෛද්‍යවරයාට අදාළ බෝම්බ ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (21) සමත් වූ බව සඳහන්.

හම්බන්තොට, රන්න ප්‍රදේශයේ දී යි ඔහු අත්අඩංගුවට පත් වී ඇත්තේ.

Rate this item
(9 votes)
Last modified on Friday, 21 January 2022 15:48