May 02, 2024

බොරැල්ල බෝම්බය රුපියල් 50000ක වැඩක් (VIDEO) Featured

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන ගොඩනැගිල්ලේ බෝම්බය තැබූ පුද්ගලයාට එම කාර්යය සඳහා රුපියල් 50,000ක මුදලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

එලෙස බෝම්බය එම ස්ථානයේ තැබූ පුද්ගලයා ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය මගින් සිදු කළ පරීක්ෂණ හරහා යි.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ බෝම්බය තැබීමේ කාර්යය සඳහා යම් අයෙකු ඔහුට රුපියල් 50,000ක මුදලක් ලබා දුන් බව යි.

එලෙස මුදල් ලබා දී ඔහුට එම කාර්යය පැවරූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බවත්, ඒ සඳහා ද පරීක්ෂණ මෙහෙයවන බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බෝම්බය

පසුගිය 11 වැනි දා දේවස්ථානය තුළින් මෙම බෝම්බය හමු වූ අතර, එය කාල බොම්බයක් ලෙස සැකසූ අත්බෝම්බයක් වූවා.

දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපසට වන්නට ඇති සුරුවම අසලිනු යි මෙම බෝම්බය හමු වූයේ.

දේවස්ථානයට පැමිණි අයෙකු බෝම්බය දැක ඇති අතර පසුව ඔහු වහාම පියතුමන් දැනුවත් කර ඇති බව පැවසෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය දේවස්ථානයට කැඳවා ඇත්තේ ඒ අනුවයි.

මුල් අත්අඩංගුවට ගැනීම්

සැකකරුවන් කිහිපදෙනෙකු පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළා.

පසුව පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර බෝම්බය දේවස්ථානය තුළ තැබූ ප්‍රධාන සැකකරු ද සිටින බව යි.

ඔහු දිගු කාලයක් දේවස්ථානයේ සේවය කළ අයෙකු බව පොලීසිය පැවසුවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බය ඇටවීමට යොදාගත් ගිනිපෙට්ටි, සෙලෝටේප් ආදිය අදාළ පුද්ගලයාගේ කාමරයේ තිබී සොයාගත් බවට යි.

CCTV අනාවරණය

කෙසේ වෙතත් එම ස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කළ දේවස්ථානයේ පියතුමන් විසින් නිරීක්ෂණය කොට ඇත්තේ හඳුණා නොගත් පුද්ගලයෙකු සැකකටයුතු බෑගයක් රැගෙන දේවස්ථාන භූමියට ඇතුළු වී අදාළ බෝම්බය හමු වූ ස්ථානයේ යමක් සඟවන බව යි.

ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව පොලීසිය සිදු කරන පරීක්ෂණ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළා.

සැබෑ සැකකරු නිදැල්ලේ සිටිය දී දේවස්ථානයේ සේවය කළ අහිංසකයෙකු රැගෙන ගොස් ඇති බවටත්, සත්‍ය අපරාධකරුවන් සොයා ගැනීම පොලීසිය මහහරිමින් සිටින බවටත් උන්වහන්සේ චෝදනා නැගුවා.

ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් සහ පොලීසිය භාර අමාත්‍යවරයා වැනි පිරිස් කාදිනල් හිමිපාණන්ට එරෙහි ප්‍රකාශ සිදු කිරීම ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් “බෝම්බය තැබූ පුද්ගලයා” ලෙස තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවන් වාතාවරණයක යි.

මේ අනුව මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබැවින්ම මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ම දැ යි ගැටළුවක් මතුව තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 January 2022 09:40