May 05, 2024

රාගම ඛේදවාචකයක්! දෙනෝදාහක් බලා සිටියදී අයෙකු තමන්ගේම ගෙල කපාගනී! Featured

සුපිරි වෙළඳසැළකින් භාණ්ඩ කිහිපයක් සොරා ගත් අයෙකු තමන්ගේම ගෙල කපාගෙන දිවි නසාගෙන ඇති ඛේදනීය පුවතක් රාගම, මහබාගේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අද (09) දින උදෑසන මෙම පුද්ගලයා අදාළ සුපිරි වෙළඳසැළට පැමිණ ඇති අතර එහි තිබූ ළදරු සුවඳ විලවුන් බෝතල් කිහිපයක් සහ ළදරු සබන් කැට කිහිපයක් ඔහු විසින් සිය ඇඳුම තුළ සඟවාගන්නා අයුරු CCTV කැමරා වීඩියෝවල ද සටහන්ව තිබෙනවා.

සොරා ගත් එම භාණ්ඩ ද රැගෙන ඔහු වෙළඳසැළෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී සිය ඇඳුම් තුළ සඟවාගෙන ආ අදාළ භාණ්ඩ බිම වැටී ඇති බව සඳහන්.

අසළ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු එය දැක එම ස්ථානයට පැමිණ ඇත්තේ අදාළ පුද්ගලයා එම භාණ්ඩ සොරාගෙන ඇති බවට සැක කරමින්.

ත්‍රිරෝද රථ රියදුරා ඔහුව අල්ලා ගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා තමන් සතුව තිබූ පිහියකින් පහර දී තිබෙනවා.

මෙම පුද්ගලයා ත්‍රිරෝද රථ රියැදුරාට පිහියෙන් අනිනු දුටු අවට සිටි පුද්ගලයින් ද එම ස්ථානයට පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී අදාළ තැනැත්තා පළා යාමට උත්සහ දරා ඇති බව පැවසෙනවා.

අවට සිටි පුද්ගලයින් ඔහුව ලුහුබැඳ ගොස් ඇති අතර පසුව තම අතැති පිහිය ද පෙන්වමින් ඔහු තර්ජනය කර ඇත්තේ තමාට ලං වුව හොත් ගෙල කපාගන්නා බවට යි.

එම තර්ජනය නොතකා අවට සිටි පිරිස ඔහුව අල්ලා ගැනීමට එම ස්ථානයට ලං වී ඇති බවත් එම අවස්ථාවේ දී ඔහු තමා අත තිබූ තියුණු පිහියෙන් තමාගේම ගෙල කපාගෙන ඇති බවත් වාර්තා වනවා.

පසුව පොලීසිය පැමිණ, ලේ ගලමින් සිටි ඔහු වෙත ලඟා වන්නට උත්සහ දරද්දී ඔහු තවදුරටත් සිය ගෙල කපා ගත් බව යි සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ගෙල කපාගත් මොහොතේ සිට පැයකට ආසන්න කාලයක් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැති අතර එම ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කළේ තමන්ට ද අනතුරක් වෙතැයි වූ බියෙන් ඔහු වෙතට ලඟා නොවූ බව යි.

අධික රුධිර වහනය හේතුවෙන් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 48ක පුද්ගලයෙකු බව අනාවරණය වී ඇති බව යි පොලීසිය පැවසූවේ.

ඔහු මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කර සිටියේ මීගමුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැළක සිදු වූ මෙවැනිම ආකාරයේ සොරකමකට ද මොහු සම්බන්ධ බවට සැක කෙරෙන බව යි.

එමෙන්ම පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට යි.

මත්ද්‍රව්‍ය මිලට ගෙන පානය කිරීම සඳහා මොහු සිය සියළු දේපල විකුණා දමා ඇති බව ද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මේ අතර දිවි නසාගත් තැනැත්තාගේ පිහි ඇනුමින් ත්‍රිරෝද රථ රියදුරු ද තුවාළ ලබා ඇති අතර ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වූවා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 09 January 2022 21:16