May 12, 2024

තෙල්වලට පසු මිල වැඩිවෙන දෑ මෙන්න Featured

December 22, 2021

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාව බවට ඉන්ධන මිලත්, උග්‍ර ජීවන වියදමත් පත්ව තිබෙනවා.

ලංකා IOC සමාගම ද මිල ඉහළ දැමීමට තීරණය කළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එලෙස මිල වැඩි කිරීමත් සමග යි.

රජය ගත් එම තීන්දුවත් සමග කබලෙන් ලිපට වැටුණූ ජනතාව, තමන් වැටුණු ලිපෙහිම පිළිස්සෙන පරිදි තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් සහ ගාස්තු ඉහළ යාමට නියමිතව ඇත්තේ ඉන්ධන මිලෙහි ඉහළ යාමට සමගාමීව යි.

එලෙස මීලඟට මිල ඉහළ යන භාණ්ඩ හා සේවා පිළිබඳව යි ඒෂියන් මිරර් මේ සොයා බැලීම.

එළවළු මල්ල තවත් පුංචි වෙයි

ඉන්ධන මිල වැඩි කරන අවස්ථාව වන විට ද වෙළඳ පොළෙහි එළවළු මිල ගණන් ඉතා ඉහළ අගයක් ගෙන තිබුණා.

ජනතාව වැඩි මුදලක් වැය කොට සුළු එළවළු ප්‍රමාණයක් රැගෙන යන අයුරු යි දක්නට ලැබුණේ.

මෙවන් පසුබිමක ඉන්ධන මිල වැඩි කිරීමත් සමග එළවළු මිල තවදුරටත් ඉහළ යාමට නියමිත බව සඳහන්.

සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එළවළු කිලෝ ග්‍රෑමයක් තවත් රුපියල් 10ක් වැනි මුදලකින් ඉහළ යනු ඇති බව යි.

ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ යාම, ගොවිපොලෙහි සිටම එළවළු මිල ඉහළ යාමට හේතුවක් බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

බඩට දැනෙන ඉන්ධන මිල

ඉහළ දැමූ ඉන්ධන මිල හේතුවෙන් කෑම පාර්සලයක මිල ද ඉහළ දැමීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඇතැම් ස්ථානවල කෑම පාර්සල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණන් මේවන විටත් ඉහළ ගොස් ඇති බව යි පැවසෙන්නේ.

එමෙන්ම තේ කෝප්පයක මිල ද බොහෝ ස්ථානවල ඉහළ දමා ඇති බව සඳහන්.

එමෙන්ම ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද පවසා සිටියේ ආපනශාලා ආහාර ද පාලන මිලෙන් ඉවත් කරගැනීමට තීරණය කළ බව යි.

ඒ අනුව ඕනෑම මිලකට ආහාර අළෙවි කිරීමට ආපනශාලා හිමියන්ට හැකියාව ලැබෙන බව යි ඔහු සඳහන් කළේ.

පාලන මිලට ආහාර ලබා දීමට, මෙරට ආපනශාලා හිමියන් ‘අනේපිඬුසිටුවරු’ නොවන බව ඔහු පෙන්වා දෙනවා.

පාන් ගෙඩිය 

මෙවන් පසුබිමක ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියේ බේකරි නිෂ්පාදන පාලන මිලෙන් ඉවත් කරගන්නා බව යි.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා සිටියේ පවතින තත්ත්වය යටතේ සිය නිෂ්පාදන අද පවතින මිලට හෙට අළෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව යි.

එබැවින් කොපමණ ප්‍රමාණයකින් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කරන්නේ ද යන්න නිශ්චිතව කිව නොහැකි බව ද ඔහු පැවසුවා.

දෛනිකව මිල වෙනස් කරගනිමින් නිෂ්පාදන අළෙවි කරගන්නා ලෙස සිය සාමාජිකයින්ට උපදෙස් දුන් බව ද එම සංගමය පවසා සිටියා.

මේ අතර ඇතැම් වෙළඳසල්වල පාන් ගෙඩියක් රුපියල් 100ට අළෙවිවන බව ද අප වෙත වාර්තා වූවා.

නැති කිරිපිටිත් මිල වැඩිවෙයි

දිවයින තුළ මේවන විටත් කිරිපිටි හිඟයක් හටගනිමින් පවතිනවා.

ඇතැම් ප්‍රදේශවල කිරිපිටි මිලට ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වන සිටින අයුරු ද දක්නට ලැබෙනවා.

එලෙස පෝල්ම්වල සිටියත් බොහෝ දෙනෙකුට කිරිපිටි මිලට ගැනීමට ද හැකිනොවන බව වාර්තා වෙනවා.

මෙවන් වාතාවරණයක කිරිපිටි මිල ද ඉදිරියේ දී යළි ඉහළ නැංවීමට සිදුවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් වර්තමානයේ පවතින කිරිපිටි හිඟය මගහරවාගැනීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව යි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

පොඩි මිනිහගෙ වාහනේ

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ හිමියන්ට පැරණි මිල ගණන් යටතේ සිය සේවා සැපයීම අසීරු වී තිබෙනවා.

එම නිසා ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට එම රියදුරන් මේවන විටත් තීරණය කොට අවසන්.

ඒ අනුව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කළේ පළමු කිලෝමීටරය රුපියල් 50 සිට රුපියල් 80ක් දක්වා ඉහළ දැමීමට ක්‍රියා කරන බව යි.

එමෙන්ම දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට අයකරන ගාස්තුව රුපියල් 45ක් ලෙස පවත්වාගෙන යන බව ද ඔවුන් පවසනවා.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් පවසන්නේ ඊළඟ මාසයේ දී ද ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කළහොත් එය මහත් ගැටළුවක්වනු ඇති බව යි.

බස් ගාස්තු

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් රථ ගාස්තු ද ඉහළ නැගීම අනිවාර්යයෙන් සිදුවන බව සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙහි දී බස් ගාස්තු සම්බන්ධ අවම ගාස්තු පමණක් නොව සියළුම බස් ගාස්තු වැඩි වීමක් සිදුවන බව යිත

සිය සංගමය විසින් ඉදිරිපත් කර ඇති ඉන්ධන සහනාධාර පිළිබඳ ඉල්ලීම් ඇතුළු සෙසු ඉල්ලීම් ලබා දීමට රජය කටයුතු කළ හොත් ගාස්තු සම්බන්ධයෙන් යම් කිසි සහනයක් ලබා දීමට හැකිවනු ඇති බව යි.

ඒ සඳහා ජනාධිපතිවරයා ඍජුව මැදිහත් විය යුතු බව යි ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේ සිය ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පවා සිදුවනු ඇති බව යි.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය ද පවසන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ට පමණක් හෝ ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයට යෝජනා කරන බව යි.

එය ලබා නොදෙන්නේ නම් රුපියල් 14ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25ක් විය යුතු බව එම සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඊට අමතරව අනෙකුත් සියළු ගාස්තු ද 25%ක ප්‍රමාණයකින් ඉහළ නැංවිය යුතු බව යි.

විශේෂ සාකච්ඡාවක්

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ද ඉහළ දැමීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ බස් රථ සංගම් නියෝජිතයින් සහ බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර යි.

ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද (22) පෙරවරු 11ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව යි.

මෙහි දී කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්, තම යෝජනා ද රාජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කරන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ලබන සඳුදාවන විට සංශෝධිත බස් ගාස්තු යටතේ ධාවන කටයුතු සිදු කරන බව යි ඔහු පැවසූවේ.

ස්කූල් වෑන්

බස් රථ සහ ත්‍රිරෝද රථ ගාස්තු මෙන්ම පාසල් ප්‍රවාහන රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුව ඇති බව එම රියදුරන් පවසනවා.

ජනවාරි 03 වැනි දා පාසල් යළි ආරම්භ කරන විට මෙලෙස ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව යි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ.

කොපමණ ප්‍රතිශතයකින් එම ගාස්තු වැඩි කරන්නේ ද යන්න පිළිබඳව සිය සංගමය සාකච්ඡා කොට පසුව දැනුම් දෙන බව ද ඔහු පැවසුවා.

කන්ටේනර් ගාස්තු

මේ අතර ආනයන අපනයන බහලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

ඒ 20%ක ප්‍රතිශතයකින්.

සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය යි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව එම බහලුම්වල ප්‍රවාහනය කෙරෙන භාණ්ඩවලට ද අමතර මිලක් එකතුවනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 17:50