May 12, 2024

"මිනිස්සු ගමන් අඩු කරයි, නැත්තම් බස් එකේ යයි" - තෙල් මිල වැඩි කිරීම පිටුපස රජයේ යටි අරමුණ එළියට

December 21, 2021

අද (21) උදෑසන මෙරට ජනතාව වෙත අසන්නට ලැබුණු පළමු පුවත එතරම් සුබදායක වූයේ නැහැ.

ඒ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවූ පුවත යි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස මිල ඉහළ දැමීම සිදු කළ බවට ප්‍රකාශ කිරීමත් සමග ලංකා IOC සමාගම ද ඊට සමගාවීම සිය මිල ගණනන් ද ඉහළ නැංවූවා.

පවතින අධික ජීවන වියදම හමුවේ අසරණ වී සිටි ජනතාවට මෙම මිල සංශෝධනය දැනුනේ කබලෙන් ලිපට වැටීමක් ලෙස යි.

තෙල් මිල වැඩි කරන්නැයි ඉල්ලා ලිපියක්

මේ අතර ඉන්ධන මිල ඉහළ නංවන ලෙස තමන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව අනාවරණය කළේ.

කබ්රාල් මහතා පවසන්නේ කරුණු කාරණා රැසක් සැළකිල්ලට ගනිමින් තමන් එම ඉල්ලීම සිදු කළ බව යි.

එම කරුණු අතර ඛණිජ තෙල් සංස්ථාවේ ස්ථායීභාවය රැක ගැනීම, රටෙහි ඩොලර් සංචිතය රැක ගැනීම සහ රට ද රැක ගැනීම ආදිය පවතින බව ඔහු සඳහන් කළා.

“මෙතනදි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ස්ථායීභාවය රැකගන්නටත් අවශ්‍යයි. රටත් රැකගන්නට අවශ්‍යයි. රටේ ඩොලර් සංචිතයත් රැකගන්නට අවශ්‍යයි. ඉතින් මේ කරුණු කාරණා සියල්ලම සැළකිල්ලට භාජනය කරලා තමයි එවැනි ලිපියක් අපි යැව්වෙ”

අමුතු හේතුව

මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමේ එක් අරමුණක් වන්නේ ඉන්ධන ඉල්ලුම අඩු කරගැනීම බව ද මහ බැංකු අධිපතිවරයා පවසනවා.

ඉන්ධන මිල අඩු කර ගතහොත් රජයට ආනයනය කිරීමට සිදුවන ඉන්ධන ප්‍රමාණය ද අඩුවන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි වූ නිසා ඇතැමුන් සිය ගමන් සීමා කිරීමට ද ඉඩ ඇති බව යි.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම හරහා පුද්ගලික වාහන රැසක් භාවිත නොකර පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමට ජනතාව පෙළඹෙතැයි තමන් අපේක්ෂා කරන බව ද ඔහු පවසනවා.

“මොකද ඉල්ලුම අඩු කෙරුවම අපිට ඉම්පෝට් කරන්න තියෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. සමහර අය තමන්ගේ ගමන් සීමා කරයි. නැත්නම් දෙතුන් දෙනෙක් එක ගමනකින් යයි. මෝටර් සයිකල්ස් දාහක් පාවිච්චි කරන්නෙ නැතුව බස් එකේ යන්න පුළුවන්. මිල වැඩි කිරීම තුළින් අපේ පරිභෝජනය අඩු කරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්ණය අපිට සෑහෙන දුරට විසඳගන්න පුළුවන්”

ඩලස් කියන දේ

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ද වැඩි වූ ඉන්ධන මිල සම්බන්ධව අදහස් පළ කර සිටියා.

ඔහු ද සඳහන් කළේ මෙරට විදේශ සංචිත වේගවත්ව පිරිහීම වැළැක්වීම සඳහා ගත් එක් පියවරක් ලෙස ඉන්ධන මිල වැඩි කළ බව යි.

සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 350 - 400 අතර මුදලක් ඉන්ධන ගෙන්වීම සඳහා වැයවන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

විදෙස් සංචිත මාසිකව වේගයෙන් ක්ෂයවීමට එය ප්‍රධාන හේතුවක් බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළා.

එබැවින් මෙරට ඉන්ධන භාවිතය කළමනාකරණය කරගත යුතුය යන ස්ථාවරයේ මුදල් අමාත්‍යංශය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ මහ බැංකුව යන අංශ තුනම සිටින බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

කෝකටත් කොවිඩ් තෛලය

කෙසේ වෙතත් මෙය වර්තමාන රජයේ ප්‍රතිපත්ති නිසා සිදු වූ ව්‍යසනයක් නොවන බව යි ඔහු පවසන්නේ.

මෙය දීර්ඝ කාලීනව මෙරට ප්‍රතිපත්ති සහ සැළසුම්වල තිබූ ගැටළුවක් බව ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම විශේෂයෙන් පවතින වසංගත තත්ත්වය මෙම අර්බුධයට ප්‍රධාන වශයෙන් බලපෑ බව ද ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.

“මේක රටක ආර්ථිකයකට යහපත් දෙයක් නොවන බව අපි කාටත් තේරෙනවා. ඒ වගේම මේක එක ආණ්ඩුවක ප්‍රතිපත්ති නිසා වෙච්ච දෙයක් නොවන බවත්, මේක දීර්ඝකාලීනව අපේ ප්‍රතිපත්තිවල සැළසුම්වල තිබිච්ච ගැටළු සහ විශේෂයෙන් මේ වසංගත තත්ත්වය ඉතා දරුණු විදිහට ලෝකයේ රාජ්‍යයන් රාශියකට අමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව මේ අර්බුධයේ මුව විටට කැන්දගෙන ඇවිල්ලා තියෙනවා”

බොරතෙල් මිල අඩුවෙයි

කෙසේ වෙතත් මේවන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය යන වෙළඳපොළ දෙකෙහිම මෙලෙස ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව යි වාර්තා වන්නේ.

මෙරට තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කළේ ලෝක වෙළඳපොළ තුළ එවන් තත්ත්වයක් තිබියදී යි.

“මුන්ට හෙණ ගහන්න ඕනේ”

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරනවා.

සිය රථයට ඉන්ධන පුරවා ගැනීමට පැමිණ සිටි පුද්ගලයෙකු පාලකයින්ට ශාප කළේ මේ අයුරින්.

“මුන්ට හෙණ ගහන්න ඕන. මහජනයට කරන අපරාධෙට. මුන් රටවල් වල යනවා, අපි අසරණ කරලා. කරන්න දෙයක් නෑ ඔහොම යං. අපිටත් වාරයක් එයිනේ. එදාට අපි බලාගන්නවා”

එමෙන්ම වත්මන් රජය බලයට පත් කරගැනීමට සිය ඡන්දය භාවිත කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු සිය අදහස මෙලෙස ප්‍රකාශ කළා.

“යන එනමං නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ. චී.. චී.. මෙහෙම කරයි කියලා නං හිතුවෙ නෑ. අපිත් උදේම ගිහිල්ලා කතිරෙ ගැහුවා. හොඳට කරයි කියලා. අන්තිමේදි කෙරුවා. කන්ටත් නෑ. ජාතික අපරාධ මෙව්වා නම්. මේවාට නම් හෙණ ගහන්න ඕනෙ”

Rate this item
(2 votes)
Last modified on Tuesday, 21 December 2021 21:23