May 06, 2024

සංවර්ධන ව්‍යාපෘති අවහිර කරමින් ජනතාව උසිගැන්වීමේ වැඩපිළිවෙලක් - ඇමැති වියාලේන්ද්‍රන්

December 04, 2021

අප රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර යොදා වගාවන් සිදු කිරීමට ව්‍යවසායකයින් දිරිමත් කිරීම බවත් ඒ තුලින් වස විසෙන් තොර පලදාවක් ලබා ගැනීම අපේක්ෂාව බවත් පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසනවා. 

යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා උදු,මුං, ඉගුරු බීජ ධාන්‍ය බෙදාදීමේ උත්සවයක් පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

වැඩි දුරටත් එම උත්සවය අමතමින් ඔහු පැවසුවේ 2022 වසර සඳහා අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85000 ක අතිවිශාල මුදලක් වෙන් කර ඇති බවය.

උඳු බීජ සඳහා රු. ලක්ෂ 97 ක් වියදම් කර ඇති අතර අක්කර 1168 ක් වගා කිරීමට නියමිත අතර එහින් බලාපොරොත්තු වන ඵලදාව මෙට්‍රික්ටොන් 525 ක් වන අතර මුං ඇට බීජ සඳහා ලක්ෂ 18 ක් පමණ වියදමක් දරා අක්කර 188.25 වගා කරමින් මෙට්‍රික්ටොන් 25 ක පමණ ඵලදාවක් අපේක්ෂා කරන බවත් ඒ තුලින් උතුරු පළාතේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් සිදු කල හැකි බවත් ඔහු කියා සිටියා.

ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය මූලික ආර්ථිකයක් ගොඩනැගීමට ප්‍රගතිශීලී අනාගතයක් උදාකර ගැනීමේ අරමුණින් අද රජය ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද සියලුම මහජන නියෝජිතයන් ප්‍රතිපාදන වලින් පසුගාමී ප්‍රදේශවල සංවර්ධනය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් නියෝජිතයන් ජනතාවට තිබෙන සංවර්ධන ව්‍යාපෘති අවහිර කරමින් ජනතාව උසිගැන්වීමට කටයුතු කලද, සියලු සංවර්ධන වැඩසටහන්  කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළා.

"නමුත් රජයෙන් ලැබෙන සියලුම සංවර්ධන වැඩසටහන් සමඟ අනෙකුත් ප්‍රජාවන් දැවැන්ත ආර්ථික වර්ධනයක් දකිනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් අපි දකිනවා. අද අපි ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහන් රැසක් උතුරු නැඟෙනහිර පළාත්වලට ගෙන එමින් තියෙද්දී  පාර්ලිමේන්තුවේ විපක්ෂය පුහු ප්‍රකාශ නිකුත් කරමින් සිටියද අප දූරදර්ශී දැක්මක් ඇතිව සියලු ක්ෂේත්‍රවල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරනවා." යැයිද ඔහු පැවසුවා. 

ප්‍රජාවගේ අවශ්‍යතා මිස දේශපාලනය බලමින් කටයුතු නොකරන බවද රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)