March 29, 2024

මහජන බැංකුව ගැන චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

අසාදු ලේඛනගත වූ මහජන බැංකුව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද (11) දිනයේ නිවේදනය කෙරුණා.

මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරනු ලැබුවේ පසුගියදා මහත් අර්බුදයකට සහ ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගි ණයවර ලිපි පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙනුයි.

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව 2021 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළා.

නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් අදාළ පියවර ගනු ලැබූ බවයි.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගනු ලැබුවා.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දුන්නා.

Rate this item
(1 Vote)