May 17, 2024

බඩල්කුඹුරෙන් හිස් කබලක් හමුවෙයි! වේල්ලවීදියේ තරුණියගේදැයි සැකයක්! (PHOTOS)

November 07, 2021

බඩල්කුඹුර ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් සොයාගෙන තිබෙනවා.

මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර - පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමක තිබියදී යි.

(ඡායාරූප මෙම සටහන අවසානයේ)

ඊයේ (06) මෙම ස්ථානයේ මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව බඩල්කුඹුර පොලීසිය අදාළ ස්ථානයට ගොස් ඇති අතර මේවන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහන්.

හිස් කබල ප්‍රථමයෙන්ම දැක ඇක්කේ අදාළ ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකු විසින්.

පසුව එම දරුවා ඒ පිළිබදව සිය සොයුරියට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත්තේ ඇය විසින්.

මේවන විට පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

හමු වූ හිස්කබල වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

මේ අතර හිස්කබල හමුවූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණය මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා විසින් අද (07) සිදුකරනු ලැබුවා.

ගමන් බෑගයක තිබූ හිස නොමැති කාන්තා මළ සිරුරක් පසුගිය මාර්තු මස පළමුවැනි දා කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වුණු අතර පසුව අනාවරණය වූයේ අදාළ ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බවට යි.

අදාළ කාන්තාව කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක 30 හැවිරිදි තැනැත්තියක් බවට හඳුණාගත්තා.

එම සිදුවීම ආශ්‍රිත CCTV දර්ශනවල දී අදාළ පොලිස් නිලධාරියා බෑග කිහිපයක් රැගෙන ආකාරය පෙනුණු අතර එම එක් බෑගයක් තුළ ඇගේ හිස ඇතැයි පොලීසිය එවකට සැක කළා.

නමුත් ඇයගේ හිස මේවන තෙක් හමුවූයේ නැහැ.

බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුව සියදිවි නසාගෙන සිටිය දී හමු වූවා.

මෙම තත්ත්වයත් සමග බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවූ හිස්කබල අදාළ කාන්තාවගේ දැයි සැකයක් මතුව තිබෙනවා.

Rate this item
(10 votes)
Last modified on Sunday, 07 November 2021 22:49