May 04, 2024

පාර්ලිමේන්තු සෙංකෝලයට හානි! වහාම අනුරුවක් හදන්න නියෝගයක්!

November 07, 2021

පාර්ලිමේන්තු සෙංකෝලයට හානි සිදු වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ එය සුළු හානියක් බව යි.

සෙංකෝලයේ කඩතොලු කිහිපයක් මෙලෙස නිරීක්ෂණය කර ඇති බව යි ඒ මහතා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුව තුළ පසුගිය කාලයේ ඇති වූ විවිධ සිදුවීම්වලදී මෙම හානි සිදුවන්නට ඇති බව තමන් විශ්වාස කරන බව ද වේත්‍රධාරීවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් සෙංකෝලයට සිදුව ඇති මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු අනාවරණ කරනවා.

සෙංකෝලය පිළිසකර කරන්නේ නම් එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බව යි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

මෙම හානි බැලූ බැල්මට බාහිරට නිරීක්ෂණය නොවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර වේත්‍රධාරිවරයා පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට පසුගිය දා උපදෙස් ලබා දී ඇත්තේ සෙංකෝලයේ අනුරුවක් දැවයෙන් සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සලස්වන ලෙස යි.

සෙංකෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල පාසල් දරුවන් ඇතුළු පිරිස් වලට එය දුරින් දැක බලා ගැත හැකි වුවත් ළඟ සිට දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස අනුරුව සකස් කරන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

සෙංකෝලය සැළකෙන්නේ මෙරට පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතය ලෙස යි.

පසුගිය කාලයේ පාර්ලිමේන්තු ගර්භය තුළ දී මහජන නියෝජිතයන් අතර විවිධ ගැටුම් සිදු වූ අතර ඇතැම් අවස්ථාවල දී සෙංකෝලය අනවසරයෙන් රැගෙන ගිය අවස්ථා ද වාර්තා වූවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 07 November 2021 07:57

Related items