May 04, 2024

"දියව් දියව් පොහොර දියව්" උද්ඝෝෂණය පාර්ලිමේන්තුවටත්

"දියව් දියව් පොහොර දියව්"ඇතුළු සටන් පාඨ නගමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් දැක්වූවා.

ඒ පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ කල්තැබීමේ විවාදය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර.

මතු කළ ප්‍රශ්නය

සමගි ජන බලවේග විරෝධතාවය ආරම්භ කිරීමට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතු කළා.

සෞභාග්‍යය දැක්මෙන් කාබනික පෝර හඳුන්වා දීමේ වැඩපිළිවෙළ වසර 10 ක වැඩ පිළිවෙළක් ලෙස හඳුන්වා දී තිබුණත් එය වසරකින් කිරීමට යාම එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනි බව කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

එහිදී කතානායකවරයා සඳහන් කළේ එය මීට අදාළ නැති බැවින් වෙනම විවාදයක් ඒ සඳහා ලබා ගන්නා ලෙසයි.

ආණ්ඩුව හා විපක්ෂය

ඒ සමගම ආණ්ඩුව හා සමගි ජන බලවේගය අතර වචන හුවමාරුවක් ඇති වීමෙන් පසු සමගි ජන බලවේගය සභා ගැබ තුළ විරෝධතාවයක් ආරම්භ කළා.

සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් මහාචාර්ය චරිත හේරත් විසින් සභාවට ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය විරෝධතා මධ්‍යයේ.

සභාවේ කටයුතු කඩාකප්පල් නොකරන ලෙසත් විරෝධතා ලෙසත් අසුන්වල ඉඳගෙන ඉදිරිපත් කරන ලෙසටත් කීප විටක්ම කතානායකවරයා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

මන්ත්‍රීවරු නම් කිරීම

අවසානයේදී නලින් බණ්ඩාර හා මුජුබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ගේ නම්ද සඳහන් කරමින් කතානායක වරයා ඉල්ලා සිටියේ සිය අසුන් වලට ගොස් වාඩි වී සිය විරෝධතාවය දක්වන ලෙසටයි.

ඒ අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද සිය අසුන් වලට ගොස් අසුන් ගන්නා ලෙසත් කතානායක වරයා ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 11:21

Related items