May 02, 2024

පිටරට ස්ටාලින්ලා සහ ලංකාවේ ස්ටාලින්ගෙයි වෙනස ගැන ඇමති ලන්සා කියයි

ගුරු වැටුප් සම්බන්ධයෙන් ආණ්ඩුව හොඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බැවින් එය පිළි අරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගිය 15 වැනිදාකොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසා සිටියේ, “කොරෝනා වසංගතය නිසා ලංකාවේ පමණක් නොවේ ලෝකයේම දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වූ අතර, ලංකාවේ දරුවන්ට කොරෝනා වසංගතයට අමතරව ස්ටාර්ලින්ලා නිසාද දීර්ඝ කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය  අහිමි වුනා.” ලෙසිනි.

මෙරට දරුවන් ගැන මීට වඩා සිතිය යුතු බවත් ඒසේ නොකර දරුවන්ගේ අධ්‍යාපනය වසර හතළිහකට ආපස්සට හැරවීමට උත්සාහ කරනවා යැයිද අමාත්‍යවරයා එහිදී චෝදනාවක් කර සිටියා.

“ස්ටාර්ලින් මහත්තයට කියන්නෙ පාසල් දරුවෝ ගැන හිතන්න කියලා. තමන්ගේ දරුවෙකුට අවුරුදු දෙකක් අධ්‍යාපනය නැතිව ගියොත් මොකක්ද වෙන්නේ. මීට වඩා දරුවන් ගැන සිතිය යුතුයි. ආදරණීය මව්වරුන්, පියවරුන් මේ අවස්ථාවේ ගෞරවයෙන් ඉල්ලන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න කියලයි. විශේෂයෙන් දියුණු රටවල් ලෝකයේ උඩුගුවනට ගිහින් සංචාරය කරන්න පුළුවන්ද කියලා බලන්න "ස්ටර්ලින් ව්‍යාපෘතියක්" හදලා තියෙනවා. මෙහෙ ඉන්න ස්ටාලින්ලා රටේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කරලා, දරුවන්ගේ අධ්‍යාපනය ආපස්සට ඇදගෙන යන්න හදනවා ද ? කියලා සැකයක් තියෙනවා.” යැයිද අමාත්‍යවරයා පවසා සිටියා.

ආණ්ඩුවක් විදියට මුදල් ගෙවන්නේ ජනතාව දෙන මුදල්වලින් බවත් ජනතාව ගෙවන බදු මුදල්වලින් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා හේතුවෙන් සියලු දෙනා අසීරු අවස්ථාවක සිටින බවයි.

එබැවින් ආණ්ඩුව ගුරු වැටුප් සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් දී ඇති බවත් ඒ යෝජනාව මේ අවස්ථාවේ පිළිගෙන  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාතය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 October 2021 00:41