May 17, 2024

"මිත්‍ර ශක්ති" දැවැන්ත මෙහෙයුම වෙනුවෙන් ලංකාවට ආපු ඉන්දීය යුද හමුදාපති

ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා  ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව සිව් දින නිල සංචාරයක් සඳහා 2021 ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකාවට පැමිණියා.

ජෙනරාල් නාරාවනේ මහතා සහ හමුදා භාර්යාවන්ගේ සුබසාධක සංගමයේ සභාපතිනි වීණා නාරාවනේ මහත්මිය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය විසින් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී උණුසුම් අයුරින් පිළිගත්තා.

සිය නිල සංචාරය අතරතුර දී ජෙනරාල් නාරාවනේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක ලේකම්වරයා, විදේශ ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවීමට නියමිතයි.

ඉන්දීය හමුදාපතිවරයා කලාපයේ විශාලතම ද්විපාර්ශවික යුධ හමුදා අභ්‍යාසයක් වන "මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය" නැරඹීමට ද එක් වනු ඇති බවත් සඳහන් වෙනවා.

එමෙන්ම හමුදාපතිවරයා විසින් ගජබා දින සැමරුමේ ප්‍රධාන අමුත්තා ලෙස ද සහභාගී වනු ඇති අතර ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දී දේශනයක් පැවැත්වීමට ද එහි සිසුන් සහ ආචාර්ය මණ්ඩලය හමු වීමට ද නියමිතයි.

දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා සහ සමීප සහයෝගීතාවය මෙම සංචාරය තුළින් සංකේතවත් වනු ඇති බවයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 'පළමු ප්‍රමුඛතාවය' හිමි රට වන අතර මෙම සංචාරය අතරතුර දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් සහ දෙරට අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවාගත හැකි ආකාර සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතියි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 October 2021 15:51