May 10, 2024

ඇමති ජොන්ස්ටන් පෙරළියක් කරයි! තිබුණේ එහෙමයි දැන් මෙහෙමයි

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I-Road) යටතේ ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ ව්‍යාපෘති ප්‍රගතිය මේ වන විට ඉහල මට්ටමකට පැමිණෙමින් තිබෙනවා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

තමන් මහාමාර්ග අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කරන විට ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I-Road) යටතේ ක්‍රියාත්මක කර තිබූ මාර්ග ඉදිකිරිම්වල ප්‍රගතිය ඉතා අවම මට්ටමක පැවති බවත් තමන් එම ව්‍යාපෘතීන් පිළිබද පෞද්ගලිකවම විමර්ශනය කිරීමෙන් අනතුරුව මාස 03ක් ඇතුලත ඒවායේ ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන ලෙස ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට සහ කොන්ත්‍රාත් සමාගම්වල නියෝජිතයින්ට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මේ වන විට වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන  අතර උදාහරණයක් ලෙස 20%ක්ව තිබූ නැගෙනහිර පළාතේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ (I-Road) ප්‍රගතිය අද වන විට 80%ව දක්වා සීඝ්‍ර වර්ධනයක් වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ වගේම දිවයින පුරා ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I-Road) යටතේ ඇති අනෙකුත් දිස්ත්‍රික්වලද මාර්ග සංවර්ධනය හොද ප්‍රගතියක් අත්පත් කරගෙන යමින් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මාර්ග සංවර්ධනය කල යුතු බවට ජනතාව විසින් ලබා දෙන ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙසට පලාත් අධ්‍යක්ෂවරුන් වෙතද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

මාර්ග වල මැනීම් කටයුතු, ඇස්තමේන්තු සකස් කිරිම, ටෙන්ඩර් ලබාදීම යනාදී කටයුතු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

මාර්ග ඉදිකිරිම සදහා ජනතාව ලබා දෙන ඉල්ලීම් නොසලකා හැර ප්‍රමාද කරන බවට තමන් වෙත ජනතාව පැමිණිලි කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරන ලෙසත් ජනතා ඉල්ලීම් කිසිවිටකත් ප්‍රතික්ෂේප නොකරන ලෙසත් ඒවා ප්‍රමාද නොකරන ලෙසත් ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I – Road) ආරම්භ කල බවත් මේ වන විට ඉන්දියාව, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල් වල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිම සදහා මෙම I – Road මොඩලය භාවිතා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් (Dr. Chen Chen) මහතා පසුගියදා තමන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කල බව අමාත්‍යවරයා මෙහිදී ව්‍යාපෘතිභාර නිලධාරීන් වෙත ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 11:30

Related items