May 02, 2024

ඇමතිගේ කථාව කතානායක නවත්වයි: සභාගත කරන ලෙස උපදෙස්

බන්දුල ගුණවර්ධන වෙළෙද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයක් අතරමග නවතා දැමීමට කතානායකවරයා පියවර ගත්තා.

ඒ ස.තො.ස සුදුලූනු වංචාව සම්බන්ධයෙන්.

විපක්ෂනායකට පිළිතුරු

ඊයේ (5) ස.තො.ස සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ මතු කළ කාරණා වලට පිළිතුරු ලෙසයි ගුණවර්ධන අමාත්‍යවරයා එම ප්‍රකාශය කරමින් සිටියේ.

එහෙත් එම ප්‍රකාශය අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බැවින් ඊට ඉඩ දිය නොහැකි බව කතානායකවරයා මුලින්ම ප්‍රකාශ කළා.

ඉන්පසු ආණ්ඩුව පැත්තෙන් කළ ඉල්ලීම් වලට අනුව අධිකරණයට අදාළ නැති කොටස් පමණක් ප්‍රකාශ කරන ලෙස අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා.

විපක්ෂයේ තර්කය

කෙසේ වෙතත් එම කතාව කරගෙන යන අතරතුර අදට නියමිත ඛනිජ තෙල් සම්බන්ධ විවාදයට කාලවේලාව මදි බවත් උසාවියේ ඇති කරුණක් ගැන කතා කිරීමට අමාත්‍යවරයාට අයිතියක් නැති බවත් පෙන්වා දෙමින් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඊට විරෝධය පළ කළා.

ඒ අනුව කතානායකවරයා ගුණවර්ධන අමාත්‍යවරයා අමතා සඳහන් කළේ ඔහු කරන ප්‍රකාශය සභාගත කරන ලෙසයි.

එහි දී ආණ්ඩුව වෙනුවෙන් මැදිහත් වූ උදය ගම්මන්පිල සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කතානායකවරයා අමතා සඳහන් කළේ ඊයේ (5) විපක්ෂ නායකවරයා හෙළි කළ කරුණු වලට පිළිතුරු දීමට ගුණවර්ධන අමාත්‍යවරයාට අයිතියක් තිබෙන බවයි.

එහෙත් දිගින් දිගටම විපක්ෂය සඳහන් කළේ අද (6) වැදගත් විවාදයක් පැවැත්වීමට නියමිත බැවින් එහිදී තමන්ට කතා කිරීමට තිබෙන කාලය ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය නිසා අඩුවෙන බැවින් දහවල් කෑම වේලාව තුළද විවාදය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

දිවා ආහාර වේලාව

එයට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත තිබිය යුතු බව කතානායකවරයා සඳහන් කළ අතර ආණ්ඩු පාර්ශ්වයෙන් සඳහන් කළේ දිවා ආහාර වේලාව අවශ්‍ය බවයි.

ඒ සමගම ගුණවර්ධන අමාත්‍යවරයා තමන් කරමින් සිටි විශේෂ ප්‍රකාශය සභාගත කිරීමට පියවර ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 12:24

Related items