May 17, 2024

ඉන්දීය විදේශ ලේකම් ලංකාවට පැමිණෙයි - පළමු සංචාරය යාපනයට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රීයේදී  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ලේකම්වරයා සමඟ එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ද දූත පිරිස ලෙස පැමිණි සිටියා.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ඊයේ දින රාත්‍රී 07.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා මෙරට තුළ පළමු සංචාරය ලෙස යාපනයට යෑමට නියමිතව තිබෙනවා.

එමෙන්ම හෙට (04) දිනයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරීස් මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මෙම සංචාරයන් අතරතුර මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල ද සංචාරය කිරීමට නියමිතයි.

(ටී.කේ.ජී.කපිල - කටුනායක)

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 08:48