April 26, 2024

ලොව හොඳම සෞඛ්‍ය සේවාව ලංකාවේ - සෞඛ්‍ය ඇමැති ආඩම්බරයෙන් කියයි

මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් බවත්, දකුණු ආසියාවේ ප්‍රමුඛ දර්ශක ශ්‍රී ලංකාව ළඟා කර ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුවැල්ල මහතා පවසනවා.

රටේ රෝහල්ගත ක්‍රියාවලීන් වලින් 95% ක් සහ රෝග නිවාරණ සේවාවන්ගෙන් 99% රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සිදු කිරීම ආඩම්බරයක් යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (02) පැවති අලුතින් බඳවා ගැනෙන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන යහපත් සීමාවාසිකයා පුහුණු වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙරට සෞඛ්‍ය සේවකයන් විශේෂයෙන් අපගේ වෛද්‍යවරුන්ට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

2018 ලෝක බැංකු වාර්තාවට අනුව, සජීවී දරු උපත් 100,000 කට මාතෘ මරණ අනුපාතය 33.8 ක් ද, උපත් 1000 ක් සඳහා ළදරු මරණ අනුපාතය 9 ක් ද, උපතේ දී ජීවිත අපේක්ෂාව වයස අවුරුදු 75 ක්ද බවට පෙන්වා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

"වසර එක හමාරක් පුරාවට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දැඩි කැපවීමෙන් කටයුතු කළ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය අංශ වෙත ජාතිය වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි. සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම වෙනුවෙන් වෛද්‍යවරයෙකු තමාගේ කාර්යභාරයෙහි නිපුණතාවයකින් යුතු අයෙක් විය යුතුයි. එම නිසා වෛද්‍යවරුන්ගේ සංවර්ධනය ඉහළ නිපුණතාවයකින් පැවතීම අත්‍යවශ්‍යයයි."

Rate this item
(0 votes)