April 20, 2024

තවත් ඇමති කෙනෙක් කෙහෙලිය ගිය මග: පොල්ල ලක්ෂ 97 යි

ඇමතිවරු විදුලි බිලට හා ජල පිලට පොලු තැබීම දැන් මෝස්තරයක් වී තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා තමාට අයත් කිරුලපන ප්‍රදේශයේ නිවසක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක විදුලි බිලක් පිළිබඳව මීට පෙර තොරතුරු වාර්තා වුණා.

විදුලි බිල පොලු

එපමණ මුදලක් ගෙවිය යුතුව තිබුණත් එම නිවසේ විදුලිය කපා තිබුණේ නැහැ.

එවැනි පන්නයේම තවත් සිද්ධියක් වාර්තා වනවා.

ඒ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ඩග්ලස් දේවානන්ද ධීවර ඇමතිවරයා තැබූ විදුලි බිල පොල්ලක් පිළිබඳවයි.

අලුත්ම ඇමති පොල්ල

ඔහු විදුලිබල මණ්ඩලයට තබා තිබෙන පොල්ල රඹුක්වැල්ල ඇමතිවරයා තැබූ පොල්ලට වඩා ලක්ෂ විසි තුනකින් පමණ අඩු එකක්.

දේවානන්ද ඇමතිවරයා ලංකා විදුලි බල මණ්ඩලයට රු. ලක්ෂ 97ක විදුලි බිලක් ගෙවා නැහැ.

ඒ ඔහුගේ දේශපාලන පක්ෂය වන ඊ.පී.ඩී.පී කාර්යාලයේ විදුලි බිලයි.

එම කාර්යාලය පිහිටා තිබෙන්නේ යාපනයේ.

විදුලි විසන්ධිය

ලක්ෂ 97ක විදුලි බිලක් ගෙවා නොතිබුනද එම ස්ථානයේද විදුලිය කපා නැති බව රංජන් ජයලාල් මහතා හෙළිදරව් කරනවා.

ජයලත් මහතා ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරුයි.

විදුලි බිල පමණක් නොව ඇමැතිවරු රැසක් සිය නිල නිවාස වල ජල බිල ගෙවා නැති බව මීට ටික දිනකට පෙර සම්පාදන ඇමති වාසුදේව නානයක්කාර මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ සිටියා.

එම ඇමතිවරුන්ට එරෙහිව නඩු පවරන බව නානයක්කාර මහතා සඳහන් කලත් එම ඇමතිවරුන්ගේ නිවෙස්වල ජල සම්බන්ධතාවය කපන බව ප්‍රකාශ නොකිරීමට නානයක්කාර මහතා ප්‍රවේසම් වුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 March 2022 12:07