May 01, 2024

රනිල්ට මළ පනී: හිටපු ගෝල මන්ත්‍රීට පිස්සා යයි ආමන්ත්‍රණය කරයි

September 22, 2021

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති වන්නේ ආණ්ඩුව හා විපක්ෂය අතර.

එහෙත් අද (22) විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇතිවුණා.

දෙකඩ වූ පිරිස

එක්සත් ජාතික පක්ෂය හා ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය අතර.

ඊට මුල්වුණේ රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්.

ලංකා ජාතික වතු කම්කරු සංගමය මුල් කොටගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වඩිවෙල් සුරේෂ් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා.

හිටපු ඇමතිවරු

ඒ එම ස්ථානය මුල් කොටගෙන හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන සාගල රත්නායක , නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍යවරයකු වන රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇමැති ආරක්ෂාවද සමඟ එම ස්ථානයට පැමිණීමේදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන්.

සුරේෂ් මහතාගේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට යාමත් සමග සුරේෂ් මන්ත්‍රීවරයාගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

සුරේෂ් මහතා ප්‍රකාශ කරන සංගමයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් තිබෙන බැවින් එම කටයුතු නිම වූ පසු වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ගැන සලකා බලන ලෙසයි වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

රනිල්ට චෝදනා

එහිදී සුරේශ් මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතාට විවිධ චෝදනා නගමින් වික්‍රමසිංහ මහතාට කතා කිරීමට ඉඩ නොදීම මත වික්‍රමසිංහ මහතාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගියා.

කරුණාකරලා "මේ පිස්සාට වාඩි වෙන්න කියන්න" යයි වික්‍රමසිංහ මහතා එහිදී කථානායකවරයාගෙන් කීප වතාවක්ම ඉල්ලීම් කළා.

එම සංගමය සම්බන්ධයෙන් මුදල් කතාවකුත් තිබෙන බවත් ඒ ගැන තමන් මේ අවස්ථාවේ තොරතුරු නොකියන බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.

හරින්ගේ මැදිහත් වීම

ඉන්පසු එම ප්‍රශ්නයට එම සංගමයේ සභාපති වන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මැදිහත් වී දෙපැත්තම සමනය කරන ආකාරයේ අදහස් දැක්වීමක් ඉදිරිපත් කළා.

වඩිවෙල් සුරේෂ් මහතා වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී ඔහු යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙනෙක්.

රාජගිරිය ප්‍රදේශයේ ඇති  මෙම කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම වැලිකඩ පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 September 2021 13:51

Related items