May 02, 2024

"මම ඉන්නේ එහා පැත්තේ : මංතීරුවෙන් වැවට හානියක් නැහැ"- රනිල්ගේ ගෝලයගෙන් තල්ලුවක්

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුවක් ඉදිකිරීම පිළිබඳව තිබෙන්නේ මිත්‍යා මතයක් බවයි එම වැව් බැම්මේම පහළ කොටසේ සිය නිවස පිහිටා තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු නාලක කොලොන්නේ මහතා සඳහන් කරන්නේ.

එනිසා ඇවිදින මංතීරුව හේතුවෙන් වැව් බැම්ම විනාශ වන්නේ නම් ඊට ඉස්සෙල්ලාම විරුද්ධ වන්නේ තමා බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එජාප නියෝජ්‍ය මහ ලේකම්ගේ මතය

පසුගිය යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නාලක කොලොන්නේ මහතා මේ බැව් සඳහන් කර තිබුණේ සිය මුහුණු පොතේ සටහනක් තබමින්

කොලොන්න මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනින් පෙන්වා දී තිබෙන්නේ ලංකාව පුරා මෙවැනි මං තීරු 22 ක් යෝජනා කරන විට පොළොන්නරුවටද එවැන්නක් ලබා ගැනීමට දැඩි ප්‍රයත්නයක් යෙදීමට සිදු වූ බවයි.

වැව් බැම්මේ ඉඳිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් කොලොන්න මහතාගේ මුහුණු පොතේ සටහනේ වැඩි දුරටත් මෙසේ සඳහන්ව තිබෙනවා.

සියලු ආයතන වල වල අනුමැතිය

පරාක්‍රම සමුද්‍රයෙ වැව් බැම්මේ ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා , වාරිමාර්ග , වන ජීවී , පළාත් මාර්ග සංවර්ධන , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහ නගර සභාව ආදී ඊට අදාළ සියලුම අංශවල අනුමැතිය ලැබී ඇති බවය.

අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු වන සම්පත් ජයවීර මහතා විසින් මෙහි සැලසුමද සකස් කර ඇති බවය.

විශේෂයෙන්ම බොහෝ දෙනකු අනිසි බියක් ඇති කරගෙන ඇති රළපනාවේ කතාව සම්පූර්ණයෙන්ම මවන ලද බිල්ලෙකු වන අතර මෙම ව්‍යාපෘතියෙන් එහි මුල් ආකෘතියක් කිසිම වෙනස් වීමකට ලක් නොවන බවය.

කරුණු නොදැන දොස් කීම

එ නිසා නින්දිත භාෂාවක් හසුරුවමින් ඊට මැදිහත් වූ රාජ්‍ය ආයතන සහ එහි නිලධාරීන්ට කතා කිරීම පිළිබඳව තමන් තුළ ඇත්තේ කණගාටුවක් බවයි කොලොන්න මහතා සඳහන් කර තිබෙන්නේ.

මෙම ව්‍යාපෘතිය රාජපක්ෂලාගේ මුදලින් නොව මහජන මුදලින් කරන එකක් බව සඳහන් කරන කොලොන්න මහතා මේ සිද්ධියේදී දේශපාලනය නොබලා සිය මතය ප්‍රකාශ කරන බවයි පෙන්වා දෙන්නේ.

මහා සංඝරත්නයෙන් හා ගොවි ජනතාවගෙන් එල්ලවූ විරෝධය මත මේ වන විට මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු වැඩ කටයුතු අතර මග නතර කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 18:46