May 02, 2024

ඊයේ සවස මංගලට මම කෝල් කලා - රනිල්ගෙන් නිවේදනයක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්ප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මංගල සමරවීර අමාත්‍යවරයාට තමන් ඊයේ (23) සවස ද දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවත් තමන් එහිදී ඔහුට පැවසූ බව රනිල් වික්‍රමසිංහ පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ශෝක පණිවුඩය පහතින්,

මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි.

මංගල වනාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ, සියළු දෙනාගේ ම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි, කැපී පෙණුනු දේශපාලන චරිතයකි. එමෙන්ම රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ පුද්ගලයෙකි. මංගල අපේ සියලු ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගණයේ සන්නිවේදකයෙකි. 2015 සිට 2019 දක්වා පැවැති කැබිනට් මණ්ඩලය තුල විදේශ කටයුතු සහ මුදල් යන විෂයයන් ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළ අමාත්‍යවරයෙකි.

“Fear no more the frown o’ the great;
Thou art past the tyrant’s stroke;
Care no more to clothe and eat;
To thee the reed is as the oak;
The sceptre, learning, physic, must
All follow this, and come to dust.” – William Shakespeare

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක

No photo description available.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 24 August 2021 18:25