April 27, 2024

රිෂාඩ් නම් නඩු: නඩු නම් රිෂාඩ් - එකකට නම් කරයි: ඊළඟ එකත් ලඟ ලඟ

රිෂාඩ් බදියුදීන් මහතාගේ නඩු ගොන්නට තවත් නඩුවක් එකතු වුණා.

ඒ සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී අවාසනාවන්ත ලෙස මියගිය බාලවයස්කාර දැරියක වූ ඉශාලිනි ජූඩ් කුමාර් දැරියගේ මරණය සම්බන්ධවයි.

පස් වැනි විත්තිකරු

එම දැරිවියගේ මරණයේ පස්වන විත්තිකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කිරීමට විනිසුරු අවසර දුන්නා.

ඒ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ඉල්ලීමකට අනුව.

සිද්ධිය සිදුවන අවස්ථාවේ බදුදීන් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයේ සිටියද ඔහු නිවසේ ගෘහ මූලිකයා ලෙස අදාල බාලවයස්කාර දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුටද වගකීම පැවරෙන නිසා.

විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ්

රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඉශාලිනි දැරිවිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ , මාමණ්ඩිය , මස්සිනා සහ දැරිවිය මෙහෙකාර සේවයට ගෙන ආ තැරැව්කරු අත් අඩංගුවේ සිටින්නේ.

ඔවුන්ගේ ඇප ඉල්ලීම යළිත් වරක් ප්‍රතික්ෂේප කළ අධිකරණ විනිසුරු එළඹෙන සැප්තැම්බර් 6 දක්වා විත්තිකරුවන්ම රක්ෂිත බන්ධනාගාර කළා.

එදිනට එම සිද්ධියේ නවතම විත්තිකරු වන රිෂාඩ් බදුදීන් මහතාවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.

තවත් නඩුවක් අත ළඟ

මේ නඩුවට අමතරව තවත් නඩුවක්ද හෙට අනිද්දා බදියුදීන් මහතාට වැටීමට නියමිතවයි තිබෙන්නේ.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

රිෂාඩ් බදුදීන් මහතා අදාල වෛද්‍යවරයාට එල්ල කළ මරණීය තර්ජන සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන පැවැත්වෙමින් තිබෙන්නේ.

එම විමර්ශන මේ වන විට අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව භාර දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 23:55