April 28, 2024

රවුෆ් හා රිෂාඩ්ගේ ගෝලයෝ යළිත් බැසිල් පසු පස

September 13, 2021

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් තුළ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කෙරෙහි ඇති කැමැත්ත යළිත් වරක් තහවුරු කොට තිබෙනවා.

ඒ ඉකුත් 7 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති බදු සමාව ලබාදීම ඇතුළු මුදල් පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ ඡන්දයේදී.

බැසිල් වෙනුවෙන් පෙරට

ඊට පෙර එනම් 6 වෙනි දින පැවති ජනපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා ඡන්දය නොදුන් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 6 දෙනෙකුම එම මුදල් පනත් කෙටුම්පත වලට ඡන්දය ලබා දී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඔවුන් සමගි ජන බලවේගය නියෝජනය කරන රවුෆ් හකීම් හා රිෂාඩ් බදුදීන් යන මහත්වරුන් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට අයත් මන්ත්‍රිවරුන්.

ෆයිසල් කාසිම් , එම්.එච්.එම් හාරිස් , එම්.එස්.තවුෆික් , ඉෂාක් රහුමාන් , නසීර් අහමඩ් හා මුසාරක් මුතුනඩින් එසේ ඡන්දය දුන් මන්ත්‍රීවරුන් අතර වනවා.

පක්ෂයේ තීන්දුවට පිටින් යාම

මෙවරද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ පනත් කෙටුම් පත් වලට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීන්දු කලත් ඊට පටහැනිව යමින් එම මන්ත්‍රීවරුන් එම පනත් කෙටුම්පත් වලට පක්ෂව ඡන්දය දුන්නා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේදීද මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස සමගි ජන බලවේගය ගත් තීන්දුවට පිටින් යමින් ඊට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන්නා.

එම සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහය ආණ්ඩුවට ලබා ගැනීමේ වැඩ පිළිවෙළේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මහතායි.

ජනපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132 ක් ලැබුණු අතර බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර මුදල් පනත් කෙටුම්පත වලට පක්ෂ ඡන්ද 134ක් ලැබුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 September 2021 07:54