April 25, 2024

මැතිසබේ මුස්ලිම් බලය උඩු යටිකුරු වෙයි! ඩීල් එකක් ගැනත් සැකයක්!

මෙරට ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිය පක්ෂවලින් ඉවත් වීමේ සූදානමක් බවතින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

රවූෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ඉවත් වීමට යන බව යි පැවසෙන්නේ.

එලෙස සිය පක්ෂවලින් ඉවත්වන මන්ත්‍රීවරු ගණන 07ක්.

අලුත් සන්ධානයක්

එම පිරිස සිය පක්ෂවලින් ඉවත් වී වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වූවා.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පිහිටුවනු ලබන නව මුස්ලිම් සන්ධානයට එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් පක්ෂවල මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව යි.

එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ තවත් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිය නව සන්ධානයට එකතු කර ගැනීමට ඉහත කී පිරිස සාකච්ඡා පවත්වන බව යි.

බළලා කලින්ම එළියට

මේ අතර නව සන්ධානය පිහිටුවීමෙන් අනතුරුව තමන් ගමන් ගන්නා දේශපාලන මාවත සහ තීන්දු තීරණ පිළිබඳව ඉඟි සැපයීමට ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ නැගෙනහිර පළාත් මන්ත්‍රීවරයා කටයුතු කළා.

ඔහු පවසන්නේ නව සන්ධානය නිර්මාණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට බලාපොරොත්තුවන බව යි.

එයට අදාළ සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බව ද ඔහු අනාවරණය කළා.

හකීම් - බදියුදීන් තනි වෙයි

මෙම මන්ත්‍රීවරුන් 07 දෙනා සිය පක්ෂවලින් ඉවත් වී නව සන්ධානය පිහිටවූ පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ ඉතිරි වීමට නියමිතව ඇත්තේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පමණ යි.

ඒ එම පක්ෂවල නායකයින් දෙපෙළවන රවූෆ් හකීම් මහතා හා රිෂාඩ් බදියුදීන් මහතා පමණ යි.

මෙය එම පක්ෂවලට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බවට යි දේශපාලන විචාරකයින් පවසන්නේ.

අයවැයේදීත් අනික් අතට

හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව්දෙනා සහ බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනා මෙවර අයවැයට පක්ෂව සිය ඡන්දය ලබා දෙනු ලැබුවා.

ඔවුන්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ දෙක තුළම විනය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව යි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරු 07 දෙනා සිය පක්ෂවලින් ඉවත් වී නව සන්ධානයක් බිහිකිරීමට උත්සහ ගන්නේ එවන් පසුබිමක් තුළ යි.

ආණ්ඩුවේ ප්ලෑනක්ද?

මේ අතර ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙකක් මෙලෙස කැඩී දුර්වල වී යාම ආණ්ඩු පාර්ශවයේම සැළසුමක් මත ක්‍රියාත්මක වන්නක් විය හැකි බවට ද දේශපාලන විචාරකයින් මත පළ කරනවා.

ආණ්ඩුව තුළ සිටින විවිධ පාර්ශව මේවන විට එළිපිටම ආණ්ඩුව විවේචනය කිරීමත්, විරුද්ධ මත ප්‍රකාශ කිරීමත් ආරම්භ කර ඇති මොහොතක, ආණ්ඩුවට එක් වීමේ සූදානම ඇතිව මෙම නව සන්ධානය නිර්මාණය වීම ඊට හේතුව යි.

ඉදිරියේ දී ආණ්ඩුවට බහුතරය අහිමි වීමේ අවදානමක් ඇති හෙයින් එවැනි තත්ත්වයකට මුහුණ දීමේ පූර්ව උපාය මාර්ගයක් ලෙස මෙලෙස විවිධ පිරිස් ආණ්ඩුවට එකතු කරගැනීම "ඩීල් එකකට" අනුව සිදු විය හැකි බව යි ඇතැම් දේශපාලන විචාරකයින් වැඩිදුරටත් සැක පළ කරන්නේ.

මෙවැනි පියවර හරහා විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක දී එය ජයග්‍රහණය කිරීම සඳහා අභියෝගයක් නොමැති තත්ත්වයක් ඇති කර ගැනීම ආණ්ඩුවේ අරමුණ විය හැකි බව ද ඔවුන් සඳහන් කරනවා.

කියවන්න: ආණ්ඩුව ඇතුළේ අවුල ඔඩුදුවයි! ගෝඨා,මහින්ද ආ ලොකු පාටිය මගහැරි පිරිස මෙන්න!

ආරම්භය

මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ දේශපාලන කරළියේ වැඩි අවධානය යොමු වුණේ 20 සංශෝදනය සඳහා ඡන්දය විමසන අවස්ථාවේ යි.

එහි දී මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඊට පක්ෂව සිය ඡන්දය ලබා දුන්නා.

ඉහත මන්ත්‍රීවරු 07 දෙනා අතර සිටින පිරිස් ද එලෙස පක්ෂව ඡන්දය දුන් පිරිස අතර සිටිනවා.

ඒ මොහොතේ දී ද ඇතැම් පිරිස් චෝදනා කළේ ආණ්ඩුව තුළ සිටින සුළු පක්ෂ හා කණ්ඩායම් 20 වැනි සංශෝධනයට විපක්ෂව ඡන්දය භාවිත කිරීමේ අවදානමක් පැවැති හෙයින් ආරක්ෂිත පියවරක් ලෙස ආණ්ඩුව විසින් අදාළ මුස්ලිම් මන්ත්‍රීවරුන් තමන් දෙසට පොළඹවා ගත් බව ට යි.

මුස්ලිම් මන්ත්‍රීවරු පමණක් නොව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වැනි අය ද ආණ්ඩුවට පක්ෂපාතී වීම එහි දී ආරම්භ වූවා.

තුන්කට්ටුවේ විරෝධය

මේ අතර මේවන විට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධූර දරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ආදී අය මෙන්ම ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ අතුරලියේ රතන හිමි වැන්නවුන් ද ආණ්ඩුව පිළිබඳ දැඩි විවේචන ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටිනවා.

ඉහත කී අමාත්‍යවරුන් තිදෙනා “යුගදනවි” ගිවිසුමට එරෙහිව අධිකරණයට ද ගොස් තිබීම කැපී පෙනෙනවා.

එමෙන්ම විමල් වීරවංශ මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ඇමතිකම වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා දීමට සූදානම් නොමැති බව යි.

ආණ්ඩුව වැරදි කරන විට නිහඬව සිටිය නොහැකි බවත්, කවුරුන් සිදු කළත් වරද වරදම බවත් ඔහු කියා සිටියා.

“විවේචන ඕනෙ නම් ඉවත් වෙන්න”

මෙවන් මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හමු වූ අවස්ථාවේ දී සඳහන් කර තිබුණේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව යි.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව යි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අනුව ආණ්ඩුවට එරෙහිව මේවන විට හඬ නගන මැති ඇමතිවරු පිරිසගේ සහය ඉදිරි පාර්ලිමේන්තු ඡන්ද විමසීමක දී හිමි නොවේ දැ යි ගැටළුවක් මතුව තිබෙනවා.

නිදහස් පක්ෂයත් වැට උඩ

එම පිරිස පමණක් නොව වර්තමාන ආණ්ඩුවට සම්බන්ධව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද ආණ්ඩුවේ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ආරම්භ කොට තිබෙනවා.

මේවන විට එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 17ක්.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කලක සිටම ආණ්ඩුවේ ක්‍රියා විවේචනය කරමින් සිටින අතර මෑතක සිට නිදහස් පක්ෂයේ තවත් පිරිස් එවැනිම පිළිවෙතක් අනුගමනය කරනු දක්නට හැකි යි.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව තුළ සුදුසුකම් ඇති පිරිස් නොමැති බව යි.

එමෙන්ම පසුගිය දා විකාශය වූ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී ප්‍රේම්ජයන්ත් මහතා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අයුරු ද දක්නට ලැබුණා.

එහි දී ඔහු චෝදනා කළේ රටෙහි ගැටළුවලට හේතුව වර්තමාන විධායකය බවට යි.

එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද බොහෝ විට ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් පළ කරන අයුරු නිරීක්ෂණය වූවා.

සාකච්ඡා

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණ සමග නිල නොවන වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන කරළිය තුළ රහසක් නොවෙයි.

බුලත් කොළේ

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් බුලත් කොලය යළි පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර පැවසුවා.

එම සන්ධානය යටතට මෙරට දේශපාලන බලවේග රැසක් එක්රැස් කරන බව යි නිදහස් පක්ෂය සඳහන් කළේ.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙරට තීරණාත්මක සුළු පක්ෂවන මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ආදී දේශපාලන බලවේග මේවන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් වීම යි.

වෙනත් අයුරකින් පැවසුවහොත් එම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ගොස් නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න!

මෙවන් තත්ත්වයක් මත වර්තමාන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවට පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ සාමාජිකයින් ද පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස බලපෑම් සිදු කරමින් පවතින බව වාර්තා වෙනවා.

තමන් තව දුරටත් ආණ්ඩුවට සහය දිය යුතුය යන මතයෙහි සිටින්නේ මේවන විට අමාත්‍ය ධූරයක් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙකු පමණක් බව යි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පක්ෂයේ පහළ මට්ටමෙන් පවා මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම නිදහස් පක්ෂයේ අනාගතයට සුදුසුවන බවට යි.

විශේෂයෙන් මේවන විට රටට බලපා ඇති අර්බුධ හමුවේ තවදුරටත් ආණ්ඩුවට සහය දෙමින් සිටියහොත්, ආණ්ඩුව සිදුකරන සියළු වැරදිවලට සිය පක්ෂයටත් වග කියන්නට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම සාමාජිකයන් ද පක්ෂ නායකත්වයට පෙන්වා දී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 03 January 2022 11:22

Related items