April 28, 2024

බදියුදීන්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයාට මරණ තර්ජන! වෛද්‍යවරයා සියල්ල හෙළි කරයි

පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළැයි නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවෙල මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව, පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. 

මම රිෂාඩ් බදියුදීන්

බොරැල්ල පොලිසියේ පැමිණිල්ලට අදාළව විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් තම කොට්ඨාසයට බාරගෙන සිද්ධියට අදාළව පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් එම වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසනවා.

තමන් ඉකුත් 15 වැනිදා බන්ධනාගාර ඩිස්පැන්සරියේදී රැඳවියන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී යම් තැනැත්තකු අනවසරෙන්, බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී ඇති බවත්, අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහු කැඳවන බැවින් වහාම පිටතට යන ලෙසට ඒ අවස්ථාවේදී තමන් එම තැනැත්තාට පැවැසූ බවත් පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා

තමන් එසේ පැවැසුව ද කාමරයෙන් පිටතට නොගිය එම තැනැත්තා, “ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන් තමාට බණිමින් සිටි බව පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බව ද වෛද්‍යවරයා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් 

බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළ රිෂාඩ් බදියුදීන් යන අය එලෙස හැසිරෙන අවස්ථාවේදී රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකු ද එහි සිටි බවත්, ඔහුගේ තර්ජනාත්මක බැණ වැදීම ඇසී බන්ධනාගාර නිලධාරීන් තවත් තිදෙනකු ද ඩිස්පැන්සරිය තුළට පැමිණ සැකකාර හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවත් වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ දක්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

සැකකාර හිටපු අමාත්‍යවරයා එම අවස්ථාවේදී තමාට තර්ජනාත්මකව බැණ වැදී මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමාට දැඩි ලැජ්ජාවක්, පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් ද ඇති වූ බවත්, මෙම සිද්ධිය ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රැඳවියන් ද බලාගෙන සිටි බවත් සඳහන් කර ඇති පැමිණිලිකාර වෛද්‍යවරයා, තමාගේ මෙන්ම තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල කරන බවත් සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට ද කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (22) කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායමක් බන්ධනාගාරයට

සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ මැගසින් බන්ධනාගාරයට අද (22) ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 23 August 2021 08:52