May 02, 2024

රනිල්ට තලෙයිබාන් අරහන්: පාලනය පිළිගන්න එපා - ආණ්ඩුවට උපදෙසක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

මෙවර මාතෘකාව ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය.

ආණ්ඩුව ගත යුතු ස්ථාවරය

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පිළි නොගත යුතු බව වික්‍රමසිංහ මහතාගේ අදහසයි.

එපමනක් නොව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද එතැනින් ඉවත් කළ යුතු බවත් එ.ජා.ප නායකයා පෙන්වා දෙනවා.

එහෙත් මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් අවශ්‍ය බැවින් එය වෙනම රටක ස්ථාපිත කළ යුතු බවයි වික්‍රමසිංහ මහතාගේ මතය වන්නේ.

තලෙයිබාන් පාලනය ප්‍රතික්ෂේප කළ යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ හේතූන්ද සමඟයි.

ලෝක ත්‍රස්තවාදීන් සමග සබඳකම

තලෙයිබාන් පාලනය ලෝකෙට මුහුණ දීමට ඇති නවතම තර්ජනය බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ එම සංවිධානය ලෝක ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමග පවත්වන සම්බන්ධතා නිසා.

තලෙයිබාන් සංවිධානය මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කළ අවස්ථාවේ ජිහාඩ්වාදී අන්තවාදී කණ්ඩායම් රාශියක් සමග කටයුතු කළ බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය අල්කයිඩා සංවිධානය දියත් කළෙත් ඇෆ්ගනිස්ථානයේ සිට එ.ජා.ප නායකයා හෙළිදරවු කරන්නේ.

එනිසා ඇෆ්ගනිස්ථානයේ නව තලෙයිබාන් පාලනය ලෝක ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධ වේදැයි යන සැකය හැමදෙනා තුළම තිබෙන බවයි වික්‍රමසිංහ මහතාගේ මතය.

සම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍ය වලටත් තර්ජනයක්

මේ තර්ජනයට සම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍ය වලට මෙන්ම රටවල් වලටත් මුහුණදීමට සිදුවන බව මතක තියාගත යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

එනිසා ඇෆ්ගනිස්ථානයේ නව තලෙයිබාන් පාලනය ත්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් නොපවත්වන බව තහවුරු වන තෙක් එම පාලනය පිළිගත නොහැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 August 2021 16:21