May 17, 2024

අනුර කුමාර අධිකරණ සේවා කොමිසම ගැන බෝම්බයක් පත්තු කරයි: ඇමති කල් ඉල්ලයි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් කැඳවන ලෙස සම්මන්ත්‍රණයක් සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු රැසක් ජාතික ජන බලවේගය මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

එම සම්මන්ත්‍රණයට සහභාගී වන ලෙස මහේස්ත්‍රාත්වරුන් ට ඉකුත් 9 වැනි දා එම කොමිසමේ ලේකම් සංජිව සෝමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබූ ලිපියේ තිබුණු කරුණු කිහිපයක්ද එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ලිපිය සභාගත කරයි

අදාල ලිපිය සභාගත කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අනිවාර්යෙන්ම මෙම සම්මන්ත්‍රණයට මහේස්ත්‍රාත්වරුන් සහභාගි විය යුතු බව අදාළ ලිපියේ තුන් වන වගන්තියේ සඳහන්ව තිබූ බවත් එසේ නොවන්නේ නම් මුහුණ දීමට සිදුවන තත්ත්වය ගැන ද එහි සදහන්ව තිබුණු බවයි.

එම සම්මන්ත්‍රණයට සහභාගී නොවුණහොත් සේවා උසස්වීම් , වාර්ෂික වැටුප් වර්ධන , විදේශ පුහුණු ලබාගැනීමට තෝරා ගැනීමේදී සහ ඉහළ අධිකරණවලට උසස් වීමේදී ඒ ගැන සලකා බලන බව සඳහන්ව තිබූ බවයි හෙළි කරන්නේ.

එය අධිකරණයට කරන බලපෑමක් නොවේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම්

එම සම්මන්ත්‍රණයේ දී රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් එල්ල වන ආකාරයෙන් අදහස් පළ වූ බව දැනගන්නට තිබෙන බවත් මන්ත්‍රිවරයා සඳහන් කලා.

එහිදී පසුගිය කාලයේ පනවා තිබූ සෞඛ්‍යය නීති රීති මධ්‍යයේ කළ මහජන විරෝධතා සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියා කළ ආකාරය පිළිබදව අදහස් දැක්වීද සිදුව තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඇමති උත්තර දෙන්න කල් ඉල්ලයි

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සභාවට දැනුම් දුන්නා.

ඊට පිළිතුරු දෙමින් අලි ෂබ්රි අමාත්‍යවරයා සදහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බැවින් මේ ගැන සොයා බලා පිළිතුරු දීමට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසයි.

අධිකරණ සේවා කොම්සන් සභාව ස්වාධීන ආයතනයක් බවත් ඊට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 11:33