May 17, 2024

පාර්ලිමේන්තු පොකුර යළි හිස ඔසවයි - මැති ඇමැතිවරු රැසක් අවදානමේ

මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුලද කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්සකුට්ටිආරච්චි මහතාට, එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට සහ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

3වන රැල්ලේ මන්ත්‍රීවරු 4යි

ඒ අනුව තුන්වන රැල්ලේ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇති.

මේ වනවිට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද කොරෝනා වැළඳී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සවස ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් කරන ලද කොරෝනා පරීක්ෂණයේදී තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

මැතිඇමැතිවරුන් රැසක් ආශ්‍රිතයන්

ඒ අනුව ඔහුගේ පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට තිබෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මැතිඇමැතිවරුන් රැසක්ම ඒ මහතාගේ ළගම ආශ්‍රිතයන් බවට පත්ව ඇති බවක්ද මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)