May 10, 2024

මීට පසු බාල අපචාර වැඩ බැහැ: දැඩි නීති ලඟදීම - ඩයනා ගමගේ

වයස අවුරුදු 18 ට අඩු කිසිවකු සේවයේ යෙදවීම තහනම් කරමින් නීති රීති ගෙන එන බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී පොරොන්දු වුණා.

ඒ මහ බැංකුව පිළිබඳ කල් තැබීමේ විවාදයට එක් වෙමින්.

පරස්පර මත දෙකක්

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනපතිවරයා වෙත ඉදිරිපත් කොට ඊට අනුමැතිය ගන්නා බවයි ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කළේ.

එහෙත් ඊට සුලු වේලාවකට පසු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම නීති මේ වන විටත් සකස් වෙමින් තිබෙන බවට පරස්පර අදහසක්ද මන්ත්‍රීවරිය ඉදිරිපත් කළා.

ඉතා ආවේගකාරී කතාවක් කළ නිසාදෝ මන්ත්‍රීවරියට සිය කතාවේදී සුළු මොහොතකට පෙර කියූ දේවල් අමතකව තිබුණා.

දෙමව්පියන්ටත් චෝදනා

කෙසේ වෙතත් බාලවයස්කාර සේවයට දරුවන් ලබාදෙන දෙමව්පියන්ටද චෝදනා කරමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ දුප්පත්කම තිබෙන බව ඇත්ත මුත් මෙහෙකාර සේවයට ළමුන් ලබා නොදිය යුතු බවයි.

එනිසා දෙමාපියන්ද වරදක් කර තිබෙන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර අත්දැකීම

ළමා ශ්‍රමිකයන් හා ළමා අපචාර වැලැක්වීමට විදේශ රටවල පනවා ඇති නීති රීතිද පෙන්වා දුන් මන්ත්‍රීවරිය විශේෂයෙන්ම බාල අපචාර චෝදනා ලාභීන් නම් කොට ප්‍රසිද්ධ කළ යුතු බවයි සදහන් කළේ.

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී මේ වන විට ආණ්ඩුව සමඟ සිටින ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සිදු වූ බාලවයස්කාර දැරියගේ සිද්ධිය පදනම් කරගෙන.

Rate this item
(0 votes)

Related items