May 04, 2024

රිෂාඩ් තියාගෙන ඉන්නේ රෙදි ඇඳගෙනද - ආණ්ඩුවේ මන්ත්‍රී සජිත්ගෙන් අහයි

රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාව තව දුරටත් රෙදි ඇඳගෙන සමගි ජන බලවේගයේ තබා ගන්නවා දැයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කරන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග නායකයාගෙන්.

සමාජයේ කැලඹීමක් ඇති වූ සිද්ධිය

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක මිය යෑම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ බරපතළ කැළඹීමක් ඇතිව තිබෙනවා.

එහෙත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේග නායකයා මෙන්ම විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් සෘජු පිළිතුරක් දී නැහැ.

සමගි ජන බලවේගය නායකයාගේ කෝකටත් තෛලය

ඔහු මේ සම්බන්ධයෙන් හැමවිටම ප්‍රකාශ කරන්නේ කවුරු වැරදි කරලා තිබුණත් උපරිම දඬුවම් ලබාදිය යුතුයි යන පොදු මතයක්.

සජිත් ප්‍රේමදාස මහතාට රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වීමට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේගයට වියදම් කරන්නේ රිෂාඩ් බදුදීන් මහතා නිසා බවට හෙළිදරව්වක් මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කළා.

ඒ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින්.

රිෂාඩ්ගේ ගෝලයෝ තුනම ආණ්ඩුවේ

කෙසේ වෙතත් මේ වන විට බදුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉතිරි මන්ත්‍රීවරුන් තිදෙනාම සිටින්නේ ආණ්ඩුව සමඟයි.

ඔවුන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මෙන්ම බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ආණ්ඩුවත් සමග ඡන්දය දුන්නා.

ඒ අනුව මේ වන විට සමගි ජන බලවේගය ඉතිරිව සිටින්නේ එම පක්ෂයේ නායකයා වන රිෂාඩ් බදුදීන් මහතා පමණයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 09:21