රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව ඔහු නියෝජනය කරන සමගි ජන බලවේගයේ දෙමළ පක්ෂ විරෝධය දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබෙනවා.
ඒ රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස්කාර දැරිය පිළිස්සී මියයාම මුල් කොටගෙන.
අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක්
බාල වයස්කාර දැරිවිය මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයම නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරු 4 දෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබෙන බවයි සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින්.
පරීක්ෂණ පිළිබඳ සැක සංකා
එම පැමිණිලි ඉදිරිපත් කොට තිබෙන්නේ මනෝ ගනේෂන් , පලනි දිගම්බරම් , උදය කුමාර් හා වේලු කුමාර් යන මන්ත්‍රීවරුන් සිව් දෙනා බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ වන විටත් දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පක්ෂපාතී හා මන්දගාමී බවට පොලිසිය වෙත මහජන විරෝධය හා කාන්තා අයිතීන් පිළිබඳ සංවිධානවල විරෝධයද එල්ලවෙමින් තිබෙන්නේ.
සමගි මහ ලේකම්ගේ නිවේදනය
සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැරිවියගේ මරණය සම්බන්ධයෙන් අද (22) නිවේදනයක් නිකුත් කර ඇති අතර එය නිකුත් කර තිබෙන්නේ දැරියගේ මරණය සිදුවී හරියටම සතියක් ඉක්ම යද්දී.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයේ අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදුදීන් මහතා මෙම දැරිවියගේ මරණයෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් වාර්තා වනවා.