May 04, 2024

මෙවරත් ආණ්ඩුව 150 පැන ගත්තේ ඒ අයගේ පිහිටෙන්

උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණා.

ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක්.

මුස්ලිම් මන්ත්‍රී සහාය

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ සමගි ජන බලවේගයෙන් තේරී පත්වුණු මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමෙන්.

ඊයේ (20) විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමටද ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබාගැනීමට හැකි වූයේද සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එම මුස්ලිම් ඡන්ද වල සහයෙන් වීම විශේෂත්වයක්.

පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 149 ක් සිටින අතර ඉන් කතානායකවරයා හැරුණු විට සිටින්නේ 148 යි.

පොහොට්ටුවේ තුනක් නැහැ

ඒ අතරින් චමල් රාජපක්ෂ , ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට ඡන්දය දෙන අවස්ථාවට සහභාගී වූයේ නැහැ.

ඒ අනුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටියේ 145 යි.

විකල්ප පාර්ශවවල සහය

ඊට ආණ්ඩුවට සහාය දෙන අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි , 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාගේ සහ ජාතික ලයිස්තුවෙන් තේරීපත්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේද සහය ලැබුණා.

ඒ අනුව විශ්වාසභංගයට විරුද්ධව ආණ්ඩුවත් සමග ඡන්දෙ දෙන මන්ත්‍රී කණ්ඩායම 148 දක්වා වැඩි වූවා.

150 හැදුනු හැටි

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තුනෙන් දෙක එනම් 150 සංඛ්‍යාව ඉක්මවා යාම සඳහා සහයෝගය ලැබුණේ රිෂාඩ් බදුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගෙන්.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ආණ්ඩුව සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහය විශ්වාසභංග යෝජනාවට ඡන්දය ගනිද්දී හිමිවූයේ ආණ්ඩුවටය.

ඒ සමගයි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ආණ්ඩුව තුනෙන් දෙක එසේත් නැතිනම් මන්ත්‍රීවරු 150 සීමාව ඉක්මවා යනු ලැබුවේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 04:17

Related items