May 04, 2024

රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා

මන්ත්‍රීගේ නිවසේ අබිරහස

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරකමෙහි යොදවා සිටිය දී සිරුරට ගිනි ඇවිලී සිදු වූ අබිරහස් අනතුරකින් රෝහල් ගත කර සිටි දැරිය පෙරේදා (15) මරණයට පත් වුණා.

මිය යන විට ඇය පසුවූයේ 16 හැවිරිදි වියේ යි.

පසුගිය 03 වැනි දා මෙම දැරිය දරුණු පිළිස්සුම් තුවාළ සහිතව රෝහල්ගත කර තිබුණා.

ඇගේ සිරුරින් 70%කට වඩා ප්‍රමාණයක් දැඩි ලෙස පිළිස්සී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

දැරියගේ සිරුරට ගිනි ඇවිලුණු අවස්ථාවේ දී බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පිරිසක් ද නිවස තුළ සිට ඇති බව සඳහන්.

මරණ පරීක්ෂණයෙන් හෙළි වූ ලිංගික අතවර

මේ අතර මෙම දැරිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණක් මේවන විට අනාවරණය වී තිබෙනවා.

දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මෙලෙස අබිරහස් මරණයකට ලක් වූ ඇය දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බව යි.

මියයන විට 16 හැවිරිදි වියෙහි පසු වුවත් මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා මෙම දැරිය රැගෙන විත් ඇත්තේ ඇයට වයස 15ක් වැනි කාලයක දී යි.

ළමා මෙහෙකාර සේවය පිළිබඳ ගැටළුවක් ද ඒ හරහා මතු වී තිබෙනවා.

මියයාමට පෙර දැරියගෙන් අනාවරණයක්

ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති මෙම දැරිය හැටන්, ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

මේ අතර මෙම දැරියගේ සිරුරට ගිනි ඇවිළුණු ආකාරය පිළිබඳව මෙතෙක් නිෂ්චිතව සනාථ වී නැහැ.

කෙසේ වෙතත් දැරිය මිය යාමට පෙර වෛද්‍යවරුන් හට හෙළි කොට ඇත්තේ තමන් සිය සිරුරට භූමිතෙල් වත් කොටගෙන ගිනිතබාගත් බව යි.

එහෙත් එලෙස සිදු කරගැනීමට හේතුවක් ඇය පවසා නැහැ.

ගිනි තබාගත්තේ ලිංගික හිංසන නිසා ද?

එලෙස සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට නම් කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුුුතු බව පොලීසිය පවසනවා.

එමෙන්ම දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති පසුබිමක එම හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

කෙසේ වෙතත්  ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රශ්ණ කරයි

මේ අතර දැරියගේ මරණය සහ ඇයට සිදුව ඇති බව පැවසෙන ලිංගික අතවර සම්බන්ධයෙන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි පදිංචිකරුවන්වන ඔහුගේ බිරිඳ සහ මව්පියන්ගෙන් මෙන්ම එම නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටින තවත් තරුණයෙකුගෙන් ද බොරැල්ල පොලීසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම බාලවයස්කාර දැරියක් මෙලෙස මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.

Rate this item
(6 votes)
Last modified on Saturday, 17 July 2021 11:35