May 19, 2024

යාපනය උණුසුම් - STF වැඩට බසියි - හමුදාවත් කැඳවීමට සූදානම්

යාපනය ප්‍රදේශය උණුසුම් කරවමින්, ප්‍රදේශවාසීන් බියෙන් තැතිගන්වමින් ක්‍රියාත්මකවන තියුණු ආයුධ රැගත් කල්ලිවල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පමණ ක්‍රියාත්මක කොට ඇති බවයි එම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම කල්ලිවල පිරිස් සෙවීමේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් ද යොදවා තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ද ලබා ගැනීමට සූදානම් බව යි වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා (30) රාත්‍රියේ කොණ්ඩාවිල්හි “ටික්ටොක් ස්ටුඩියෝ” නැමති ස්ථානයට කඩාවැදුනු ආයුධ සන්නද්ධ කල්ලියේ පිරිස 14ක් පමණවන බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එම පිරිසෙන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව හඳුණාගැනීමට ද පොලීසිය සමත් වී ඇති බව සඳහන්.

අදාළ ස්ථානයට කඩා වැදුණු තියුණු ආයුධ රැගත් පිරිස කළ පහර දීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් 07 දෙනෙකු මේවන විටත් බරපතළ තත්ත්වයේ පසුවනවා.

අදාළ සිද්ධියේ දී එක් අයෙකුගේ අතක් වෙන්වන පරිදි කපා දමා තිබූ අයුරු ද වාර්තා වූවා.

මෙම කල්ලිය යතුරුපැදිවල නැගී එම ස්ථානයට පැමිණෙන අයුරු ඒ අවට CCTV කැමරාවල ද සටහන් වී ඇති බවත්, ඒ හරහා සැකකරුවන් හඳුණාගෙන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් යාපනය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(6 votes)
Last modified on Friday, 02 July 2021 11:25