එක්ස්ප්‍රස් - පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසුව මෙරට බටහිර වෙරළ තීරයන් පුරාවටම මළ කැස්බෑවන්ගේ මරණ විශාල වශයෙන් වාර්තා වුණා.
මෙම කැස්බෑ මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම දේශපාලනඥයින් අතරද විවිධ මතවාදයන් ඇතිව තිබුණා.
මෙම කැස්බෑවන්ගේ මරණ පරික්ෂණ කිරීම භාරව තිබුණේ නාවල පිහිටි විවෘත විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සමින්ද ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ කණ්ඩායම හටයි.
ඒ මහතා සිය කණ්ඩායම සමඟ එක්ව කළ කැස්බෑ මරණ පිළිබඳව පරික්ෂණයේ දී විශේෂිත කරුණු කිහිපයක් සොයා ගැනීමට සමත් වී තිබුණා. ඔහු ඒ පිළිබඳව ජාතික පුවත්පතක් වෙත මෙලෙස අදහස් පළ කර තිබුණා.
“බටහිර වෙරළ තීරයේ මියගොස් ගොඩ ගැසු කැස්බෑවන්ගේ මරණ පරික්ෂණය සිදුකිරීම මම ඇරඹුවා. එහිදී මළ කැස්බෑවන්ගේ පෙනහලු විවර කිරීමේදී මට දැකගත හැකි වුවා එය සිගරැට් බිවූ මිනිසෙකුගේ මෙන් කළු පැහැති ලපවලින් යුක්ත තත්ත්වයක්.
ඒ වගේම පරික්ෂාවට ලක්කළ බටු කැස්බෑවන්ගේ මුව විවරව මියගොස් තිබුණා. එවැනි මුව ඇරීමක් තුළින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබූ බව නිරීක්ෂණය වෙනවා.
ඒ වගේම ආහාර මාර්ගය පරික්ෂාවේදී මෙම සතුන් නිරාහාරව සිටි බවත් දක්නට ලැබුණා. මෙසේ මියගොස් තිබුණේ ශරීරයේ තෙල් තට්ටුව සහිත නිරෝගී කැස්බෑවන්. සාමාන්‍යයෙන් සිරුරේ තෙල් තට්ටුව පිහිටන්නේ නිරෝගී කැස්බෑවන්ට.
මෙම කැස්බෑවන් නිරාහාරව සිටින්න ප්‍රබල හේතුවක් තිබිය යුතුයි. ආහාර මාර්ගයේ පිළිස්සීමට ලක්වීමක්, එහෙමත් නැත්නම් පෙනහලු ආබාධයක් හෝ වෙන යම් වූ කාරණයක්. කෙසේ වුවත් මොවුන්ගේ කුසේ ප්ලාස්ටික් කැබැලි දක්නට ලැබුණේ නැහැ.
ඒ වගේම මාංශ පේශිවල රුධිර පැල්ලම් දක්නට ලැබුණා. එයට හේතුව රුධිර නාලිකා පුපුරා යෑම විය හැකියි.
කැස්බෑවන් පිළිබඳව සිදු කරනු ලැබූ මරණ පරික්ෂණයේ දී ඇසට ලක් වූ පරික්ෂාවන් අතර පෙනහලු කළු වීම, නිරාහාර වීම, මුව විවරව මිය යෑම, මස්පිඩුවල රුධිර පැල්ලම් සේම පිළිස්සුම් ලක්ෂණ වැනි වෙනස්කම් දක්නට ලැබුණත් මේ පිළිබඳව පටක පරික්ෂාවක් සිදුකර විද්‍යාත්මක තහවුරු කර නොගෙන යම් පැහැදිළි නිගමනයකට එළැඹීමට හැකියාවක් නැහැ. ඒ නිසා එවැනි පටක කොටස් තවදුරටත් පරික්ෂාවට ලක් විය යුතුයි..”
පසුගිය මැයි 20 වැනිදා ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මීගමුව ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට දැඩි හානියක් සිදුවුණු අතර සාගර පද්ධතියට ඉන් දැඩි හානියක් සිදුවුණා. එමෙන්ම ධීවර ජනතාවගේ ආදායම් මාර්ගයන්ද මේ නිසා ඇණ හිට තිබෙනවා.