April 28, 2024

රනිල් සමග එක්වීමට 60ක් එකඟ වෙයි

පුවත් මවන රනිල්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීමත් සමග දේශපාලන කරළිය තුළ විවිධ පුවත් වාර්තා පළ වෙමින් පවතිනවා.

ඒවායින් බොහොමයක කියැවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වික්‍රමසිංහ මහතා සමග එක් වීමට නියමිත බවයි.

ඒ හරහා සජිත් ප්‍රේමදාස මහතා දරණ විපක්ෂ නායක ධූරය රනිල් වික්‍රමසිංහ මහතා වෙතට ගැනීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.

බොහෝ වාර්තා පෙන්වා දුන්නේ සමගි ජන බලවේගයේ පිරිසක් මෙලෙස වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට නියමිත බවයි.

60ක් රනිල්ට

මේ අතර මෙම කතාබහට තවත් තොරතුරු එකතු කිරීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා අද (16) ක්‍රියා කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 දෙනෙකු වික්‍රමසිංහ මහතා සමග එක් වීමට නියමිතව ඇති බවයි.

එම පිරිසට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ අය ද අන්තර්ගත බව ඔහු පවසනවා.

ආණ්ඩු පක්ෂ, විරුද්ධ පක්ෂ දෙපාර්ශවයේම පිරිසක් වික්‍රමසිංහ මහතා සමග මේවන විටත් සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල ඉදිරියේ දී බලාගැනීමට හැකි බවත් එජාප මහලේකම්වරයා අවධාරණය කරනවා.

පිං මන්ත්‍රීකමෙන් පුලුවන්ද?

මෙහි දී මාධ්‍යවේදීන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උපුටා දක්වමින් විමසා සිටියේ අවුරුදු 25ක් බලයේ හිඳිමින් සිදු කිරීමට නොහැකි වූ දෑ 'පිං මන්ත්‍රීධූරයකින්' සිදු කිරීමට හැකි ද යන්නයි.

එයට පිළිතුරු ලබා දුන් රංගෙබණ්ඩාර මහතා මෙලෙස ප්‍රකාශ කොට සිටියා.

"පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 42ක් තියාගෙන ආණ්ඩුවක් ගෙනියන්නට පුළුවන් වුණානම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කරන්නට හැකියාව ලැබුණා නම්, අයවැය ලේඛණය සම්මත කරගන්න පුළුවන් වුණා නම්, එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට 1ක් තියාගෙන 60ක් නිර්මාණය කරන එක බොහොම සිම්පල් වැඩක්"

ඉන් නොනැවතුණු පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වීමට සූදානම්වන පිරිස 60ක් ලෙස තමන් හැඳින්වූ නමුත් එම පිරිස 60 වඩා වැඩි විය හැකි බව යි.

මහින්ද - රනිල් හමුවක්

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයේ පාර්ශවය සමග හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අනාවරණය කළා.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු පවසා සිටියේ අමාත්‍යවරු කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවලට සම්බන්ධ බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ද ගොස් ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

"ඔබතුමා තමයි පාර්ලිමේන්තුවට එන්න ඕන" යැයි එම හමුවේ දී රාජපක්ෂ මහතා විසින් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව ද අබේසිංහ මහතා පවසා සිටියා.

ඩීල් ගැන අපි දන්නවා

මෙවන් පසුබිමක් මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඔහු සමග එක්වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන පුවත සමාජ ජාල ආදියේ පතුරුවා හරින්නේ ද ආණ්ඩුවේ පිරිස් බවට යි ඔහු පෙන්වා දෙන්නේ.

අශෝක් අබේසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, තමන් එක්සත් ජාතික පක්ෂය තුළ සිටි අයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ කඳවුර සමග "ඩීල් දැමූ" ආකාරය පිළිබඳ හොඳින්ම දන්නා බවයි.

වර්තමානයේ දී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවන පසුබිමක ඔහුට දී ඇති ආරක්ෂක භටයින් ප්‍රමාණය සියය ඉක්මවන බව ද අබේසිංහ මන්ත්‍රීවරයා අනාවරණය කළා.

තව ද මන්ත්‍රීවරයෙකු නොවන එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා හට ද ඉහළ ආරක්ෂාවක් ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවන් දෑ සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ රාජපක්ෂ පාර්ශවය අතර සබඳතා පැවතීම නිසා බවටයි ඔහු ඉඟි පළ කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 June 2021 21:57

Related items