May 18, 2024

ඇමති වීරසේකරගෙන් "පියුමි හා චමුදිත" සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් (VIDEO)

පොලීසිය භාර ඇමති ලෙස ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් තමාව සම්බන්ධ කොට ඉතා සාවද්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ආයතන තුළින් ප්‍රකාශ කරන බව සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

ඒ වගේම ඉන් ලෝකේ පුරාම තමා පිළිබඳ වැරදි පණිවිඩ නිකුත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුව හමුවේ කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවද ඇමතිවරයා සඳහන් කළේ පියුමි හංසමාලි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින්.

නිරෝධායනය බලා පස්සර මධ්‍යස්ථානයක් වෙත ගෙන යන අතරතුර බස් රථය යළි හරවා ඒමට උපදෙස් නොදුන් බවත් නීතීඥවරයෙකුගෙන් සහ බස් රථයේ දෙදෙනකුගෙන් කෙරුණු ඉල්ලීම් මත මානුෂීය හේතු මත ඔවුනට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පමණක් ඊට මැදිහත් වූ බවද ඇමතිවරයා සදහන් කරනවා.

දින 14 ක නිරෝධායනයට ඇඳි වත පිටින් පමණක් ගෙන යෑම අසාධාරණ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පිළිගන්නවා.

එය නොකළ යුතු ක්‍රියාවක් බව කිව හැක්කේ දුෂ්ට පුද්ගලයකුට පමණක් බවද අමාත්‍යවරයාගේ අදහසයි.

තමා එහිදී කටයුතු කළේ පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස පමණක් නොව මහජන නියෝජිතයකු ලෙස ද බව අමාත්‍යවරයා මතක් කර දෙනවා.

එහිදී ඔවුන්ගේ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැති බවත් සියලු දෙනාටම සාධාරණය කිරීම මහජන නියෝජිතයකුගේ වගකීම බවද අමාත්‍යවරයාගේ අදහසයි.

එක්තරා මාධ්‍ය ආයතනයක එක්තරා නිවේදකයෙක් තමන්ට ඉතාමත් අපහාසාත්මකව ඉතාමත් පහත් ලෙස තමන්ට චෝදනා කළ බව අමාත්‍යවරයා හෙළි කරනවා.

ඒ වගේම තවත් මාධ්‍ය ජාලයකින් වෛද්‍යවරයකු වන තමාගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේදී දින දෙකකට පෙර විවාහ වූ බවත් එහිදී මෙම සිද්ධියට අදාළ රූපලාවණ්‍ය ශිල්පියා තමාට රුපියල් මිලියන දෙකක් දුන් බවත් දන්වා සිටි බවත් එම කාරණා දෙකම අමූලික බොරු බවද සදහන් කරනවා.

මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන ඒ මාධ්‍යවේදියාට සහ මාධ්‍ය ආයතන වලට තමා අනුකම්පා කරන බවද සදහන් කරන අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසභ්‍ය ඡායාරූප දමමින් තමන්ට අපහාස කරන්න ඊට එරෙහිව නෛතික නෛතිකව ඉතා ඉක්මනින් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (7) පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 16:18

Related items