May 09, 2024

පියුමිගේ ඇමතුම ගැන ඇමති කියන කතාව

තරු පන්තියේ උපන්දින සාදයකට සහභාගී වූ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලී ඇතුළු පිරිස නිරෝදායනයට රැගෙන යද්දී මෙරට ප්‍රබල අමාත්‍යවරයෙකු එම ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සහ ගෙන ඇති බවට වූ පුවත් වාර්තා රැසක් මේවන විට පළ වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කියැවෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ නාමය යි.

මෙවන් පසුබිමක් මත සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවැනි දා සවස අමාත්‍යවරයාට නීතීඥයෙකුගෙන් ඇමතුමක් ලැබී ඇති බවයි.

සිය සේවාදායකයන් බදුල්ල නිරෝදායන මධ්‍යස්ථානයක් වෙත ගෙනයන බවත්, ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් ඔහු සඳහන් කළ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අනතුරුව පියුමි හංසමාලී විසින් ද අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් බවත්, තමන්ට අමතර ඇඳුම් පැළඳුම් ආදිය ලබා ගැනීමට අවස්ථාවක් සළසා දෙන ලෙස ඇය එහි දී ඉල්ලා සිටි බවත් පැවසෙනවා.

ඉන් පසු චන්දිමාල් ජයසිංහ ද දුරකතනය ඔස්සේ අමාත්‍යවරයා අමතා එම ඉල්ලීමම සිදුකොට ඇති බව සඳහන්.

සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ පිරිස තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවත්, පිරිස බස්රථයේ සිටියදීම අදාළ සුබසාධක ද්‍රව්‍ය ඔවුන් වෙත ගෙනැවිත් දීමට ක්‍රියා කර ඇති බවත් සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඉන් අනතුරුව අදාළ පිරිස පස්සර නිරෝදායන මධ්‍යස්ථානය වෙත යළි රැගෙන යාමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)

Related items