May 10, 2024

"කොවිඩ් කොවිඩ් කියලා හැංඟෙනවා නම් මේ රට ඉදිරියට යන්නේ කොහොමද" - ඇමැති ජොන්ස්ටන් අසයි

කොවිඩ් කොවිඩ් කියලා හැංඟෙනවා නම් මේ රට ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු බය නැතිව ඇවිල්ලා මේ රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව වහලා හැංගුනාම කොහොමද රටක් දුවන්නෙ" යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා මර්ධන ජාතික ව්‍යාපෘතියට සහයදීමේ අරමුණින් ක්‍රියාත්මක "දින දහයක් තුල ඇදන් 10000ක් " සකස් කිරිමේ ජාතික සමාජ සත්කාරක ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල ඇදන් නිර්මාණ කිරීමේ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගියදා නිරත විය.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපි පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු රෙගුලාසි ගැන කතා කලා. බදාදා සහ බ්‍රහස්පතින්දා දින අපි පෝර්ට් සිටි ගැන කථා කරනවා . දැන් මේ වැඩකට නැති විපක්ෂය අපිට චෝදනා කරනවා කොරෝනා තියෙද්දී අපි පෝර්ට් සිටි පනත විවාදයට ගන්නවා කියලා . අපිට කිසිම හදිසියක් නෑ. විපක්ෂය දකින විදිහේ කිසිම හදිස්සියක් මෙතන නැහැ. පෝට් සිටි ප්‍රශ්නය ගැන අවුරුදු ගානකට අපි කතා කරලා තියෙනවා. ඒ වගේම අපි රෙගුලාසි ගණනාවක් ගැන පාර්ලිමේන්තුවේ දී මේ සතියේ කථා කරනවා. ඖෂධ රෙගුලාසි පනත ගැන කතා කරද්දි ප්‍රේමදාස මහත්තයා විරුද්ධ වුණා. එතුමා ඖෂධ රෙගුලාසි ගේන්න හදනකොට එතුමා විරුද්ධ වුණා. එතුමා පනත කලින් කියවලා තිබුණෙනැහැ . පනත කියෙව්වාට පස්සේ තමයි ඒ පනත හරි කියලා තේරුම් අරන් පිළිගත්තා. පෝට්සිටිය ගේන්න ඕන. පෝර්ට් සිටි පනත විතරක් නෙමෙයි අනිකුත් අණපනත් පවා මේ රටට ඉක්මණින් ගේන්න ඕන. අපි නිදියගෙන ඉන්න ආණ්ඩුවක් නොවෙයි. පෝට් සිටිය එනවා කියන්නේ මේ රටේ ආර්ථිකය කණපිට හරවන්න පුළුවන් විශාල ව්‍යාපෘතියක්. එදා යහපාලනය නතර කරා. දැන් අපි ඒක පටන් ගත්තා. දැන් විපක්ෂයට තියෙන්නේ ඔවුන්ට කරගන්න බැරි දේ අපි කරනකොට ඔවුන් ඊර්ෂ්‍යාව සහ කුහකකමෙන් ඒවා දිහා බලනවා. ඒවාට මඩ ගහලා අකුල් හෙලනවා.

පාර්ලිමේන්තුව රටේ පැවැත්වෙන ඕනා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනා. කොවිඩ් කොවිඩ් කියලා හැංඟෙනවා නම් මේ රට ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු බය නැතිව ඇවිල්ලා මේ රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව වහලා හැංගුනාම කොහොමද රටක් දුවන්නෙ. කොරෝනා වලට සල්ලි නෑ කිය කිය අපි රුවන්පුර අධිවේගී මාර්ග හදනවා කියලා අපිට විපක්ෂය දැන් චෝදනා කරන්න පටන් අරගෙන . කවුද කියන්නෙ අපේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. අපි PCR කරන්න, ඒ වගේමවැක්සින් කරන්න සල්ලි නැහැ කියල තියෙනවද ? ඇඳන් ගන්න , ඔක්සිජන් ගන්න සල්ලි නෑ කියලා තියෙනවද. බෙහෙත් දෙන්න සල්ලි නෑ කියල තියනවද. අඩුම ගානේපාර්ලිමේන්තුවේ විපක්ෂයට පඩි ගෙවන්නවත් සල්ලි නෑ කියලා තියෙනවද? අපි රාජ්‍ය සේවකයාට නිසි ලෙස පඩි ගෙවනවා. රටේ ණය නිසි වෙලාවට ගෙවනවා. එයාලගේ යහපාලන ආණ්ඩුව වගේ නෙවෙයි අපේ ආණ්ඩුව, රටේ ආර්ථිකය ඉතාමත් දක්ෂ ලෙස කළමනාකරණය කරනවා. විපක්ෂයට මේ රටේ සල්ලි නැති වෙන්න ඕන, ආර්ථිකය කඩාගන වැටෙන්න ඕන. මිනිස්සු මැරෙන්න ඕන. ඔක්කොම මැරිලා මැරිලා හරි ප්‍රේමදාස මහත්තයා ඉතුරු වෙලා ජනාධිපති වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව.

අපි පැහැදිලිව කියනවා කෝවිඩ් නෙමෙයි, මොන අභියෝගය ආවත් අපි මේ රට ඉදිරියට ගෙනියනවා කියලා. ඒ වගේම අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. රට දියුණු කරනවා. රටට ආයෝජකයෝ ගෙන්වනවා. අපේ අභියෝගය තමයි කොවිඩ් වසංගතය අමුවේ වුවද මේ රට දියුණු කරන එක. රට වහන්න ඕන වෙලාවට රට වහන්න ඕන. රට අරින්න ඕන වෙලාවට රට අරින්න ඕන. ඒ තීන්දු තීරණ ගන්න තමයි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවක් ඉන්නේ. ලැජ්ජාවට වහන්නත් ලැජ්ජාවට අරින්නත් පිස්සුවක් අපේ ආණ්ඩුවට නැහැ. නිවැරදි තීන්දු තීරණ ගන්න ඕන වෙලාවට අපි නිවැරදි තීරණ ගන්නවා. නමුත් විපක්ෂයට ඕන රට වහන්න. රට වහපුවාම අරෙහෙ යන්න මෙහෙ යන්න පර්මිට් හදාගන්න විපක්ෂයේ අය අපිට කතා කරනවා. විපක්ෂයට අපි පැහැදිලිව කියනවා ලෝකයේ අනෙකුත් රටවල් විවිධ තීන්දු තීරණ ගන්න හැටි ගැන හොයලා බලන්න. විපක්ෂයට අපි කියනවා බොරු බොලඳ දේවල් කියන්න එපා කියලා. ලක්ෂ ගානකින් පැරදිලා තවත් විනාශයකට යන්න එපා කියන පණිවිඩය අපි විපක්ෂයට දෙනවා.

දින දහයක් ඇතුළත ඇදන් 10000ක් අපි නිර්මාණය කරන සමාජ සත්කාරයටත් දැන් විපක්ෂය මඩ ගහන්න පටන් අරගෙන. ඇඳන් නැත්නම් ඇඳන් හදන්න ඕනේ. ඒක තමා අපේ යුතුකම. එයාලා එක ඇඳක් වත් හදලාද අද කතා කරන්නේ. ප්‍රේමදාස මහත්තයාලා දිසානායක මහත්තයලා ඇඳක් තියා අහිංසක දුප්පත් මනුස්සයෙකුට කොවිඩ් හැදුණහම වතුර බෝතලයක් වත් දීලා නැහැ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. කිසි දෙයක් ජනතාවට නොදුන්න, බොරුවට කැගහන විපක්ෂයක් තමයි අද අපට ඉන්නෙ. ඇඳවල් 10,000 ක් අවශ්‍ය වන බවට සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කරා. අපි ඇඳන් දහදාහක් හදනවා. තවත් ඒ වගේ අවශ්‍ය දේවල් මොනවා හරි කිව්වොත් ඒවත් අපි ඉටු කරලා දෙනවා. එහෙම තමයි අපේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව දිහා විපක්ෂය වපර ඇහෙන් වගේම වෛරයෙන් ක්‍රෝධයෙන් බලනවා. වැඩක් කර ගන්න බැරි විපක්ෂයට හැදිලා තියෙන මේ අසනීපයට අපි ලග බෙහෙත් නැහැ. කවුරු මොනවා කිව්වත් අපි අපේ වැඩකටයුතු නොනවත්වාම කරගෙන යනවා.

මෙම නිරීක්ෂණ චාරිකාවට තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)

Related items