May 02, 2024

ඌරුජුවාගේ, කොස්ගොඩ තාරකගේ මරණ නිසා වෙලේසුදා බියෙන් - විශේෂ නියෝගයක් අධිකරණයෙන්

මෙරට තුළ සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාව බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (17)  නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව ලබන 24 වැනි දා දක්වා වෙලේ සුදාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන ලෙසට යි අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.

පරීක්ෂණ පවත්වන මුවාවෙන් සිය පුත්‍රයාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට සැක පහළ වී ඇති බවත්, එනිසා ඔහුව පොලිස් භාරයට පත් කිරීම වළක්වන ලෙසටත් වෙලේ සුදාගේ මව වන ආර්.ජී. මාලනී විසින් රීට් පෙත්සමක් ගොනු කර තිබුණා.

අභියාචනාධිකරණය විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවේ එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වූ කොස්ගොඩ තාරක සහ ඌරු ජුවා නමැත්තන් පසුගිය දිනවල පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූයේ විමර්ශන සඳහා පිටතට රැගෙන ගොස් සිටි අවස්ථාවන්හීදියි.

පොලිස් භාරයේ පසුවන සැකකරුවන් මෙලෙස ඝාතනයට ලක් වීම පිළිබඳව ප්‍රශ්ණ කරමින් මේ දිනවල සමාජය තුළ කතාබහක් ද ගොඩ නැගී තිබුණා.

වෙලේ සුදාගේ මව විසින් මෙම පෙත්සම ගොණු කර තිබුණේ මෙවන් පසුබිමක් මත යි.

මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද එවන් ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බව වෙලේ සුදාගේ මව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකාබැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් වෙලේ සුදා නමැත්තාව බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක් නිකුත් කළ අතර ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 24 වන දා සිදු කිරීමට දින නියම කරනු ලැබුවා.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා මරණීය දණ්ඩණය නියම වී මේවන විට බන්ධනාගාරගතව සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 00:46