May 10, 2024

රුවන්පුර අධිවේගයේ සමාරම්භය අද අගමැති අතින් - ඇමැති ජොන්ස්ටන් Featured

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (07) ආරම්භ වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහාමාර්ග පිළිබඳ වගකීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරේ.

මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9 කි. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය අදියර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතය. ඒ අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. මාගා ඉංජිනේරු සමාගම මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මේ සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වේ. ඉදිකිරීම් කාලය මාස 30 කි.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද, රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මුඩු බිමක්ව තිබූ රට අපි වැඩබිමක් බවට පත් කළා. මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේ දී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද, අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මෙම රුවන්පුර අධිවේගී මාර්ගය ආර්ථික වශයෙන් ඵලදායී අධිවේගී මාර්ග පද්ධතියකි. පානදුර - රත්නපුර (A-08) හා කොළඹ - වැල්ලවාය - මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් පහසුකම් සැලසේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය තුළින් කොළඹ, කලුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් සඳහා සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මැණික්, තේ, ඇඟළුම්, සුළු අපනයන බෝග යනාදිය කඩිනමින් වෙළඳපොළට සහ සැපයුම් ස්ථානවලට පහසුවෙන් පිවිසීමට මෙමගින් හැකිවේ. මාර්ග තදබදය අඩුවීම ඉන්ධන පිරිවැය අඩුවීම, ගමන් කාලය ඉතිරිවීම නිසා ආයෝජකයන්ට මෙම ප්‍රදේශයේ ආයෝජන අවස්ථාවල යෙදිමට මෙම අධිවේගි මාර්ගය තුළ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)

Related items