May 10, 2024

කොළඹ අවට ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන්න - ඇමැති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරන ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන ලෙස කොන්ත්‍රාත් සමාගම්වලට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ වගකීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ හා ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලත් අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස වාහන තදබදය අධික ලෙස පවතින හදුනාගත් ප්‍රදේශවල දේශීය අරමුදල් යටතේ ගුවන්පාලම් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කොට ඇත.

ඒ අනුව කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ. මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන්පාලම මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2730 ක විදයමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර 11කින් යුක්තව ඉදිකෙරේ.

විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා විසින් ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සිදු කර තිබේ.

Rate this item
(0 votes)

Related items