May 18, 2024

(EXCLUSIVE) සජිත් පක්ෂයෙන් ඉවත් වෙන්න කිව්වේ කාටද?

තමාගේ ගමනට බාධා කරන, තමාගේ කකුලෙන් අදින පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත් වන ලෙස සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කවුරුන් ඉලක්ක කොටගෙනදැයි යන්න මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ කුතුහලයට ලක්ව තිබේ.

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනකදී සජිත් ප්‍රේමදාස මහතා කළ මෙම ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ප්‍රකාශ කළ බවට එම රැස්වීමට සහභාගිවූ සමගි ජන බලවේග ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඒෂියන් මිරර් වෙත තොරතුරු හෙළිදරව් කරන ලදී.

අදාළ මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර කරුණු විමසීමේදී ඔහු සඳහන් කළේ විපක්ෂ නායකවරයා බොහෝ දුරට පාඨලී චම්පික රණවක මහතා ඉලක්ක කොට මෙම ප්‍රකාශය කළ බව තම විශ්වාසය බවය.

පාඨලී චම්පික රණවක මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද 43 වැනි සේනාංකය වෙනම ව්‍යාපාරයක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට සංවිධානය වෙමින් පැවතීම සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ බරපතළ සාකච්ඡාවකට ලක් වෙමින් තිබෙන බවය.

පාඨලී චම්පික රණවක මහතාද ඉදිරි ජනාධිපතිවරණයකදී ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ දැඩි අපේක්ෂාවකින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි.

මධ්‍ය මහා විද්‍යාලවලින් අධ්‍යාපනය ආරම්භ කොට ශිෂ්‍යත්වය සමත්ව මෙරට ජාතික විශ්ව විද්‍යාල දක්වා ගිය නිදහස් අධ්‍යාපනයෙන් ජීවිතය ජයගත් පිරිස් මුල්කොටගෙන 43 වැනි සේනාංකය ක්‍රියාත්මක වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 April 2021 07:58