May 10, 2024

“කොන්දක් තියෙනවා නම් CIDයට ගිහින් කට උත්තර දෙන්න“ - ඇමැති ජොන්ස්ටන්ගෙන් අභියෝගයක්

“මහා මොළකාරයෙක් හොයන්න කිය කිය බොරු කියන්නෙ නැතිව කොන්දක් තියෙනවා නම් සී.අයි.ඩි.යට ගිහින් කට උත්තරයක් දෙන්න“ යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 “රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාව හිරේට යවද්දිත් මම වචනයක් කතා කළේ නැහැ. මම දන්නවා ඒකේ තියන දුක. ඔබතුමා බොරු කියන්න එපා. මම කවදාවත් හරින්ව අත්අඩංගුවට ගන්න කියලා කිසිදු ප්‍රකාශයක් කරලා නැහැ.“ යනුවෙන්ද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකරමින් අත්අඩංගුවට ගැනීමට යාම පිළිබදව පිලිතුරු දෙමින් මෙසේ සඳහන් කළේය.

“ගරු විපක්ෂ නායකතුමාත්, ඒ වගේම හිටපු ඇමති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල ඇමතිතුමා නගපු ඒ චෝදනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට අනුව කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ. මම එදත් මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාටයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාටයි අභියෝග කළා මේ වරප්‍රසාදවලට මුවාවෙන්නේ නැතිව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා පැමිණිලි කරලා අපි හොයමු කියලා. අපි බොහොම සද්භාවයෙන් එහෙම කිව්වේ. ඔබතුමාලටත් අවශ්‍ය වන්නේ දඩුවම් කරන්න නම්, ආණ්ඩුවටයි, අගමතිතුමාටයි, ජනාධිපතිතුමාටයිත් අවශ්‍ය මේ පුද්ගලයො හොයල දඩුවම් කරන්න. ඒ වගේම රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ වැරදිකරුවන්ට දඩුවම් කරන්න. ඔබතුමාලගේ කාලේ සිද්ධ වුණේ නැති එක අපෙන් බලාපොරොත්තු වෙනවා නම්, හැටනම ලක්ෂයක් ඡන්දය දීල අපිව ජයග්‍රහණය කෙරෙව්වෙත් ඒකට නම්, අපි ඉන්නෙ ඒ වැරදිකරුවන්ට නිසි ක්‍රමවේදයට අනුව දඩුවම් දෙන තැන. මම හැම වෙලාවෙම කියන්නේ මේ පාස්කු ප්‍රහාරය අල්ලගෙන මඩ ගහන්න එපා කියලා. ඔබතුමන්ලා හරියට ඒකාලයේ වැඩකටයුතු කළා නම් මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදු වුණායින් පසුවත් නීතිය හරියට ක්‍රියාත්මක කළා නම්, ඔබතුමන්ලා ඡන්දෙන් පරදින්නේ නැහැ. ඒවා නොකරපු නිසා තමයි ඡන්දයෙන් තමුන්නාන්සේලා පැරදුනේ. ඒක හොදට දන්න අගමැතිකෙනෙක් ජනාධිපතිකෙනෙක් ඉන්න ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට අත්අඩංගුවට ගන්නේ නැහැ. මම දන්නවා මට සිද්ධ වුණ දේවල්. අනුර දිසානායකත් ඒකට එකග වෙයි. කිසිම මන්ත්‍රීවරයෙකුට අසාධාරණයක් වෙනවට මම එකග වෙන්නේ නැහැ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. නමුත් පාස්කු ප්‍රහාරයේ කොමිසම් වාර්තාවේ ඉංග්‍රීසි පිටපත ආවයින් පසුව දවස් 22කට පස්සෙ සිංහල පරිවර්තනය කරලා චමල් රාජපක්ෂ මැතිතුමාගේ කොමිටිය පත්කරද්දිම අතිගරු ජනාධිපතිතුමා මෙය නීතිපතිතුමාටත්, ඒ වගේම සී.අයි.ඩි.යටත්, ඩී.අයි.ඩි.යටත් නීතිපතිතුමාට නීතිය පැත්තෙන් ප්‍රශ්න කිරීම් කරන්න ඉදිරියට ප්‍රශ්න කිරීම් කරන්න අතිගරු ජනාධිපතිතුමා භාර දුන්නා. නමුත් තමුන්නාන්සේලා එතකොටත් එතුමාට මඩ ගැහුවා. අපි තමුන්නාන්සේලා වගේ අඩබෙර ගහන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. බොහොම සද්භාවයෙන් මේ කටයුතු රජය විසින් කරගෙන යනවා.

මම දන්න විදියට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට කිරිඇල්ල මන්ත්‍රීතුමා කියපු විදියට ප්‍රමිත තෙන්නකෝන් තරුණ මන්ත්‍රීතුමා ඇතුළු තරුණ කණ්ඩායම ගිහින් පැමිණිල්ලක් කෙරුවා. නමුත් ඒ අත්අඩංගුවට ගන්න කියල නෙවෙයි. අපේ අයට එහෙම උවමනාවක් නැහැ. නමුත් මම පාස්කු ප්‍රහාරයේ වාර්තාව කියෙව්වා. මට හොදට මතකයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියනවා එතුමාගෙ තාත්තා කිව්වා කියලා. පාස්කු ප්‍රහාර වාර්තාවේ කියන්නේ අක්කා කිව්වා කියලා. පරස්පර විරෝධි කතා. විපක්ෂ නායකතුමාගෙත් යුතුකමක් තියෙනවා මේක දේශපාලනයට ඇදල ගන්නේ නැතිව ඉන්න. එතුමව අත්අඩංගුවට ගන්නවා කියලා කොහේද කියලා තියෙන්නේ? මම ඉල්ලීමක් කරනවා අපි සියල්ල එකතු වෙලා සද්භාවයෙන් මේකට උදව් කරමු කියලා. මම බොහොම වගකීමෙන් ආණ්ඩුවක් හැටියට කියනවා පාර්ලිමේන්තුවේ කියපු කතාවලට එතුමව අත්අඩංගුවට ගන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි එහෙම කියලත් නැහැ කියලා. ඒ නිසා බොරු ප්‍රචාර යවන්න එපා. ඔබතුමන්ලා රන්ජන් රාමනායකව පාවිච්චි කළා. අන්තිමට එතුමා හිරේට ගියා. එක එක්කෙනාව පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා. සද්භාවයෙන් කටයුතු කරමු. විපක්ෂ නායකතුමාගෙනුත් මම ඉල්ලීමක් කරනවා බෙදුනා ඇති දැන්වත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරමු කියලා. මෙතන කිසිදු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට අරගෙන ගැටලුවක් ඇතිකරන්න උවමනාවක් නැහැ.“

රන්ජිත් මන්දුමබණ්ඩාර මහතා විසින් ජොන්ස්ටන් අමාත්‍යතුමාගෙන් වගකීමෙන් කියන්නේ ලෙස අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.

“රංජිත් මද්දුම බණ්ඩාර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා අහනවා ඉතාමත් වගකීමෙන්ද මෙම ප්‍රකාශය සිද්ද කළේ කියලා, මම පැහැදිලිව කිව්වා එතුමා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට එතුමාව අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. මම පැහැදිලිව කිව්වෙ අපි එයට ඉඩදෙන්නෙ නැහැ කියලා. නමුත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙලා බොරු කියන්න හොද නැහැ.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා කල ප්‍රකාශය නිවැරදි කළ යුතුයි කියලා මම හිතුවා. අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාවත් නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමාවත් සී.අයි.ඩි.යට අරන් ගියා කියලා. පාර්ලිමේන්තුවේ කරපු කිසිදු කතාවකට එතුමන්ලව අරන් ගියේ නැහැ. අශෝක අබේසිංහ මගේ මිත්‍රයෙක්. කුරුණෑගල ගිහින් කරපු කතාවකට ගත්තෙ. වෙන දෙයකට නෙවෙයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදයි එළියේ දී කරන කතායි පටලගන්න එපා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදියට රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා ආදර්ශමත් විදියට කතා කරන්න. එතුමන්ලා දෙන්නව අත්අඩංගුවට ගත්තේ නැහැ. කටඋත්තර අරගෙන නිදහස් කෙරුවා. හරින් ප්‍රනාන්දු කියනවා එයා පාස්කු ප්‍රහාර සම්බන්ධ දේවල් ගැන කියන ඒවා හොයන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධ දේවල් හොයන්න ගත්තම එතුමා ගිහින් රෝහලේ හැංගෙනවා නම් එතුමා කරන්නේ බොරුවක්.

මනුෂ නානයක්කාර මහතා විසින් හරින් ප්‍රනාන්දු මහතාගේ පියා කල ප්‍රකාශයකට හරින්ව අත්අඩංගුවට ගන්න යනවා කියලා කල ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ “මම කිව්වේ මම පාස්කු ප්‍රහාර වාර්තාව කියවපුවහම මම දැකපු එකක්. ඒ වගේම මම විතරක් නෙවෙයි මුළු ජනතාවම දන්නවා හරින් කරපු ප්‍රකාශය ගැන. මම හරින්ව අත්අඩංගුවට ගන්න කියලා කිව්වේ නැහැ. ඒක වැරදි විදියට ගන්න එපා. මහා මොළකාරයෙක් හොයන්න කිය කිය බොරු කියන්නෙ නැතිව කොන්දක් තියෙනවා නම් සී.අයි.ඩි.යට ගිහින් කට උත්තරයක් දෙන්න.

ඒ වගේම හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමාත්, ජේ සී අලවතුවල මන්ත්‍රීතුමත් කිව්වා අවුරුදු දෙකකට පෙර සිදුවුණු සිද්ධියක් දැන් හොයනවා කියලා. අවුරුදු දෙකකට කලිනුයි මේ සිද්ධිය වුණේ. පාස්කු ප්‍රහාර කොමිෂම් වාර්තාව ආවේ පෙබරවාරි මාසයේ. පාර්ලිමේන්තුවට සිංහල පරිවර්තනයත් එක්ක ඉදිරිපත් කළේ පෙබරවාරි මාසයේ අන්තිම සතියේ. මේ කොමිසම දැම්මෙත් ඔබතුමන්ලා. නීතිපතිතුමාටත් දීලා තියෙනවා. ජේ සී අලවතුවල මන්ත්‍රීතුමා කියනවා මහාමොළකරුවෙක් ඉන්නවා කියලා. එතුමා දන්නවා නම් මහා මොළකරුවෙක් ගැන ගිහින් කියන්න. හරින් ප්‍රනාන්දු වගේ හැංගිලා ඉන්නේ නැතිව.

කබීර් හෂීම් මන්ත්‍රීතුමා මගේ නම කියලා මම හරීන්ව අත්අඩංගුවට ගන්න කිව්වා කියලා කිව්වා. මම එහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා නම් හැන්සාඩ් වාර්තාව බලන්න. ඔබතුමාගේ ලේකම්තුමාට වෙඩි තිබ්බාම ඒකවත් බේරගන්න බැරි වුණ මන්ත්‍රීවරයෙක් ඔබතුමා. මම හරින්ව අත්අඩංගුවට ගන්න කියලා කියලා නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න උගත් මන්ත්‍රීවරු දන්නවා මම එවැනි ප්‍රකාශයක් සිදුකළේ නැහැ කියලා. මම කැමති නැහැ කිසිම මන්ත්‍රීවරයෙක්ට එහෙම දේවල් සිද්ද වෙනවට. හේතුව මමත් දවස් 73 ක් ඔබතුමාලගේ ආණඩුව කාලේ හිරේ හිටියා. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාව හිරේට යවද්දිත් මම වචනයක් කතා කළේ නැහැ. මම දන්නවා ඒකේ තියන දුක. ඔබතුමා බොරු කියන්න එපා. මම කවදාවත් හරින්ව අත්අඩංගුවට ගන්න කියලා කිසිදු ප්‍රකාශයක් කරලා නැහැ.

රජයක් විදියට අපි සූදානම් නැහැ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මොන තරම් බොරු කිව්වත් අත්අඩංගුවට ගන්න. අපි ඉතාමත් වගකීමෙන් කිව්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩන්නේ නැහැ කියලා. නමුත් හරින් ප්‍රනාන්දු ඇවිල්ලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ ඉන්න මන්ත්‍රීවරුයි රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමයි කියනවා මහාමොළකරුවො ඉන්නවා, හොයන්නේ නැහැ කියලා. වැරදි කරලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕන.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)

Related items