May 10, 2024

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් දෙනවා - ‍ඇමැති ජොන්ස්ටන්

‘‘මේ කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂි ඔබතුමන්ලා ළග තියෙනවා නම් ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරන්න. මේ ගැන අපි දෙපැත්තට මඩ ගහ ගන්න එක කිසිම තේරුමක් නැහැ. වගකිව යුතු රජයක් විදියට මේකෙන් කිසිම කෙනෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ. තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට අපි දඩුවම් කරනවා" යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාස්කු කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂිත් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"හෙට පාස්කු ප්‍රහාරයේ 21 වෙනිදාට අවුරුදු දෙක සපිරෙනවා. දැන් ඔබතුමන්ලා සාක්ෂි වගයක් ගැන කතා කරනවා. ඒක ඉතාමත්ම හොදයි. ඔබතුමන්ලා නීත්‍යානුකූලව මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිල්ලක් කරන්න. ඒක ඉතාමත්ම වැදගත්. ඒක මන්ත්‍රී කෙනෙකුගේ කාර්යභාරයක්. නිකන් ලකුණු ගන්න තමන්ගෙ ආණ්ඩුව තියෙද්දි මෙලෝ දෙයක් නොකරපු මිනිස්සු තමයි මේ කතා කරන්නේ. මැරිච්ච මිනිස්සුන්ගෙ මළ මිණිවලින් දේශපාලනය කරන්න එපා. මේක තමා ඇත්ත තත්ත්වය. තමුන්නාන්සේලා මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන, තමුන්නාන්සේලාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා වාර්තාවේ නැති සාක්ෂි ගැන මෙතන කතා කරන්න එපා. පුළුවන් නම් එළියට ගිහින් මේ ගැන කියන්න. පාස්කු කොමිසම් වාර්තාවේ නැති මේ තොරතුරු කොහොමද ආවේ කියන එක හොයන්න අයිතියක් තියෙනවා. ඇයි ඇතුල්කළේ නැත්තේ කියන එක ගැන පැමිණිල්ලක් කරන්න. පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කරල වැඩක් නැහැ වරප්‍රසාද වලට මුවා වෙලා. මේවගෙන් වෙන්නේ බොරු සමාජගත වෙන එක."

"විපක්ෂය කිව්වා කාදිනල් හිමිපාණන් විවිධ ප්‍රකාශ කෙරුවා කියලා කිව්වා. කාදිනල් හිමිපාණන්ට අපහාස කෙරුව පළවෙනි වතාව මේක නෙවෙයි. මේක බෞද්ධ රටක් නොකියපු ආණ්ඩුවක් තමයි තමුන්නාන්සේලාගේ තිබුණු ආණ්ඩුව. කාදිනල් හිමිපාණන්ට අපහාස කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලාට බැරි වුණ දේ කරන්න මේ ආණ්ඩුවට උදව් කරන්න. ඔබතුමන්ලා ලග තියෙන සියලුම තොරතුරු ගිහිල්ලා සීඅයිඩීයට භාර දෙන්න. මේවා හොයන්න උදව් කරන්න. මම ඔබතුමන්ලාට මඩ ගහන්නේ නැහැ. හෙට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා හෙටට වසර දෙකක්. හෙටම ගිහිල්ලා මේ ගැන පැමිණිලි කරන්න. මම හරීන් මන්ත්‍රීතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ ඒකයි. අපි හිතන්නෙත් ඔබතුමන්ලා මඩ ගහනවා කියලා. ඔබතුමන්ලාගේ යුතුකම තමයි දන්න කරුණු සියල්ල සීඅයිඩීයට ගිහිල්ලා පැමිණිලි කරලා අපට උදව් කරන්න මේ ගැන හොයන්න. ඔබතුමාලාටත් ඕනේ මේ අය අල්ලලා දඩුවම් කරන්න නම් අපටත් ඕන ඒ අය අල්ලලා දඩුවම් කරන්න. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒ අය අල්ලලා දඬුවම් කරන එක. අපි රජය හැටියට හින්නේ ඔබතුමන්ලා මේකට මඩ ගහනවා කියලා. ඔබතුමන්ලාගේ යුතුකම තමයි මේ ගැන ගිහින් සීඅයිඩීයට පැමිණිලි කරන එක.

"අශෝක අබේසිංහ මහත්තයා වගේ ඔබතුමත් බොරු කියන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. එතුමා අන්තිමට පට්ටපල් බොරු කියලා අන්තිමේ දී කලන්තේ දැම්මා. මියගිය අයට සාධාරණත්වය ඉටු කරන්න මේ ගැන සීඅයිඩීයට පැමිණිලි කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමන්ලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ ප්‍රකාශ කරනවා. මේ කොමිෂම දැන්මෙ ඔබතුමන්ලා. ඉතින් මේ වාර්තාවේ නැති සාක්ෂි ඔබතුමන්ලා ලඟ තියෙනවා නම් ගිහිල්ලා පැමිණිලි කරන්න. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච දෙපැත්තෙම හිටපු මන්ත්‍රීවරයෙක් ලෙස ඔබතුමාගේ යුතුකම මේ ගැන ගිහින් පැමිණිලි කරන එක. මේ ගැන අපි දෙපැත්තට මඩ ගහගන්න එක කිසිම තේරුමක් නැහැ. එයින් මියගිය අයට පණ එන්නේ නැහැ. වගකිව යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ ගැන ගිහින් පැමිණිලි කරන්න. වගකිවයුතු රජයක් ලෙස මේකෙන් කිසිම කෙනෙකුට පැනල යන්න දෙන්නේ නැහැ කියන එක කියනවා. තරාතිරම නොබලා වරදකරුවන්ට අපි දඬුවම් කරනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 10:45

Related items