May 12, 2024

සමාගම් 4කින් ගෙන්වූ පොල්තෙල් විෂ බවට තෙවැනි පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි

පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්‍ෂණයෙන් ද තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වූ අතර පසුව කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් ද එය තහවුරු වී තිබේ.

එම ගුදම්වලින් ලබාගත් පොල්තෙල් සාම්පලවල පරීක්‍ෂණ ප්‍රතිඵල කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පාරිභෝගික සේවා අධිකාරීයට අද (01) යොමු කරන ලදී.

සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් ද ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වී ඇති බවත් එහි ප්‍රතිඵල කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවත්ය.

මෙම ආයතනවලින් ගෙන්වා තිබෙන පොල්තෙල්වල පිලිකා කාරක ප්‍රමාණයට වඩා අඩංගු බවට සනාථ කළ යුතු නිල ආයතන දෙක වන සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බැවින් පසුව ලැබෙන වාර්තා කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවයි.

රේගු දෙපාර්තමේන්තුව සමාගම්වල ගුදම්වලට නිකුත් කළ පොල්තෙල් ප්‍රමාණයන් එම ගුදම්වල නියමිත පරිදි තිබේ දැයි මේ වන විට පරීක්‍ෂා කරන බවත් එහිදී වෙනසක් ඇති වුවහොත් එම පොල්තෙල් ප්‍රමාණය ද සොයා විනාශ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාරිභෝගික සේවා අධිකාරිය සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මීට දින කීපයකට පෙර ලබාගත් පොල්තෙල් සාම්පල 125 පරීක්‍ෂණ සඳහා මේ දක්වා දක්වා කිසිඳු ආයතනයකට ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items