May 14, 2024

රේගු ලොක්කා පොල්තෙල් බවුසර් සැඟවූ තැනට යයි - සීල් තැබූ අය ගැනත් කියයි

ආහාරයට නුසුදුසු ප්‍රභල පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.

මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස පසුගිය 29 වනදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබිණි.

දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් මුද්‍රා තබන ලද පොල් තෙල් බවුසර් දෙකට මුද්‍රා තබන ලද්දේ රේගුව නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි.

පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එම බවුසර් මුද්‍රා තබා තිබුණු අතර පොලීසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රේගුව විසින් එහි මුද්‍රා තබා ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම බවුසර් ඊයේ (31) පෙරවරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ බවුසර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා,

“ ඇෆ්ලටොක්සින් නැමැති විෂ රාසායනික ද්‍රව්‍ය අඩංගු පොල් තෙල් ආනයනය කිරීමක් සිදුවෙලා තියෙනවා. ඒවා පරික්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දන්වා තිබෙනවා එම පොල් තෙල් තුළ ඇෆ්ලටොක්සින් විෂ කාරක ද්‍රව්‍ය අඩංගුයි කියලා. මේ සිද්ධිය මේ ආකාරයට වන අතරතුර ඊයේ උදේ අපට දංකොටුව පොලීසියෙන් දන්වනු ලැබුවා මුද්‍රාතබන ලද පොල් තෙල් සහිත බවුසර් දෙකක් යම් ස්ථානයක සඟවා තිබිලා ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණා කියලා. මෙම බවුසර් දෙක මුද්‍රා තබලා තියෙන්නේ රේගුවෙන් නොවේ. මගේ අතේ තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව භාවිතා කරන මුද්‍රා. එම බවුසර්වල තිබෙන මුද්‍රා මීට වඩා ගොඩක් වෙනස්. දැන් මේ වනවිට රේගු නිවාරණ අංශයේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වෙනවා අද දින දංකොටුවේ සිට මෙම බවුසර් දෙක පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය වෙත ලැබෙන්නට සැලැස්සුවා. නිවාරණ අංශය විසින් මේ වන විට මේ ලොරි රථ රියදුරන් මීට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් ගෙනැවිත් විමර්ශනය මේ වනවිට කරගෙන යනවා. තවමත් අපිමේ බවුසර් විවෘත කළේ නැහැ. මේ විමර්ශනය අවසානයේදී නීත්‍යානුකූලව බවුසර් අපි විවෘත කරලා බලනවා. “

බවුසර දෙක කොළඹ රේගු නිවාරණ අංශය වෙත අද උදෑසන රැගෙන එනු ලැබුවේ පොලිස් ආරක්ෂාව යටතේ ය.

ඒ අනුව එම බවුසරවල අඩංගු තෙල්වල සාම්පල ලබා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ  නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කළේය.

Rate this item
(1 Vote)

Related items