May 14, 2024

විෂ පොල්තෙල් ගැන තවත් අනතුරු ඇඟවීමක් - උපදින දරුවන්ටත් ආබාධ

පිළිකා කාරක අඩංගු බවට පසුගියදා හෙළි වූ ආනයනික පොල්තෙල් තොගය යලි පරික්ෂා කිරීමේදී එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් සාම්පල මේ වන විට නිසි ප්‍රමිතියෙන් තොර බව ඊයේ යළිත් තහවුරු විය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනයට පියවර ගන්නැයි ලබන සඳුදා රේගුවට දැනුම් දෙන බවයි. 

ප්‍රශ්නගත සෙසු පොල්තෙල් ආනයනකරුවන්ගේ දෙවන සාම්පල පරීක්ෂාවන් ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතය. 

ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මඟින් පළමු වරට සොයාගෙන තිබුණේ පසුගිය 4 වැනිදාය.

ඒ අනුව පොල්තෙල් බහාලුම් ඒ වන විටත් ඒවා ආනයනය කළ ආයතන වල ගබඩා වෙත මුදා හැර තිබිණි.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සාම්පල පරික්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තුරු ඒවා වෙළඳපොළට නිකුත් නොකිරීමේ කොන්දේසි මත එලෙස මුදා හැරි බවයි. 

කෙසේවෙතත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසන්නේ මෙරටදීම එම පොල්තෙල් තොග විනාශ කල යුතු බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ රේගුවටයි. 

මේ අතර අදාළ පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් නොවන බවට ජනතාවට සහතික වීම සඳහා අදාළ ගබඩා වලට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඊට අමතරව ප්‍රශ්නගත පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂ කෙරේ.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වෙළඳ සැල් වලින් අහඹු පොල්තෙල් සාම්පල ලබා ගැනීමට නියමිතයි.

ප්‍රශ්නගත පොල්තෙල්වල අඩංගු බව පැවසෙන ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය ශරීරගත වුවහොත් සිදුවන බලපෑම කුමක්ද? යන ගැටලුවට ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකි විදානපතිරණ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

"ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ඇෆ්ලටොක්සීන් කියන්නේ අංක එකේ පිළිකා කාරකයක්. විශේෂයෙන්ම ඇෆ්ලටොක්සීන් මඟින් ඇතිවන පිළිකාව තමයි අක්මා පිළිකා සහ පිත්තාශ නාල වල ඇතිවන පිළිකා තත්වය. ඒ වගේම මේ ඇෆ්ලටොක්සීන් ගත්තම මේකේ කෙටි කාලින හා දිගු කාලින ආබාධ තියෙනවා අපේ ශරීරයට ඇතුල් වුණොත්. කෙටි කාලීනව තමයි ක්ෂණික විෂ වීමක් ඇති වෙලා මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇෆ්ලටොක්සීන් කියන විෂ ද්‍රව්‍ය නිසා දිගු කාලීනව ප්‍රතිශක්ති පද්ධතිය හීන කරලා විවිධ ආසාදනවලට ලක්වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ආබාධයක් තමයි දිගු කාලින ලෙස ජානමය වෙනස්කමක් ඇති කරලා උපදින දරුවා ආබාධ තත්වයට පත්වෙන්නත් පුළුවන්."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 March 2021 16:33

Related items