May 11, 2024

විෂ පොල් තෙල් ගෙන්වූ සමාගම්වලට දුන් නියෝගය

සමාගම් තුනක් මඟින් ආනයනය කරන ලද පොල්තෙල් “ඇෆ්ලටොක්සින්“ නැමැති ප්‍රභල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් ඇති බවට දෙවන වරටත් සාම්පල පරික්ෂාවේදී සනාථ විය.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතා සඳහන් කළේ, එම පිරිසිදු නොකළ පොල් තෙල් බහාලුම් ගෙන් වූ සමාගම්වලට එම තොග ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම් දුන් බවය.

“ඇෆ්ලටොක්සින්“ නමැති පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වල සාම්පල යලිත් පරික්ෂා කිරීම මේ වන විට ආයතන කිහිපයක් මගින් සිදු කෙරේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

මෙලෙස සාම්පල යලි පරික්ෂා කිරීමක් සිදු වන්නේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරිස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්, කටාන රිෆයිනරිස් යන ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමිනි.

කෙසේවෙතත් මින් එක් සමාගමක සාම්පල දෙවන වර පරික්ෂාවේදීත් “ඇෆ්ලටොක්සින්“ නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සඳහන් කරයි.

මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තහවුරු කරයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර ශ්‍රී ලංකා රේගුව විසින් නැවත හරවා යවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 March 2021 09:48

Related items